අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කිරීම සඳහා, තිරසර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය විදත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා පාර්ශ්වකරුවන්ගේ අදහස් ගැනීමේ වැඩමුළුවට දායක වන සියලු දෙනාට හිමි වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ විද්යුත් සංචරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතට පාර්ශ්වකරුවන්ගේ අදහස් ගැනීමේ වැඩමුළුව කොළඹ දී පැවැත්වුණු අවස්ථාවේ විශේෂ දේශනයක් පවත්වමිනි.
වැඩසටහනේ ආරාධිත සම්පත් දායකයන් ලෙස UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි (Madan Bandhu Regmi), ඉන්දියාවේ තිරසර නගර හා ප්‍රවාහනය පිළිබඳ උපදේශක කවුෂ්ටුබ් ගෝෂාවී මහත්වරුන්, පිලිපීනයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජොයිෂ් රිවෙරා මෙණෙවිය, මහාචාර්ය අමල් කුමාරගේ මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් එක් වුහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:
“ශ්‍රී ලංකාව මේ වන විට ෆොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනයෙන්, බලශක්තිය පදනම් වූ ප්‍රවාහන පද්ධතියකට හුවමාරු වීමේ හැකියාව පිළිබඳ කරුණු ගවේෂණය කරමින් පවතින අතර, ඒ සඳහා වන ශක්‍යතාව තීරණය කිරීම සඳහා අධ්‍යයන සහ පර්යේෂණ සමඟ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ විද්යුත් වාහන ලියාපදිංචිය, විද්යුත් වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම සඳහා වන ප්‍රමිති සැකසීම, ආරෝපණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සැලසුම් රැසක් ක්‍රියාත්මක වනවා. ඒ උදෙසා දිගුකාලීන දැක්මකින් යුතුව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.
“මැනිලා නුවර පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිදු වූ හමුවක් අතරතුර මෙහි සිටින UNESCAP ආයතනයේ මදන් රෙග්මි මහතාගෙන් ශ්‍රී ලංකාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් කෙටුම්පත් කිරීමේදී සහාය වන ලෙස මා කළ ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව මේ සුවිශේෂ වැඩසටහනට පසුබිම සකස් වුණා.
“2024 වසර ශ්‍රී ලංකාවේ විද්යුත් සංචරණ (e-mobility) වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අදියර කරා රැගෙන යෑමට අදාළ සියලු අමාත්‍යාංශවල සහ පෞද්ගලික අංශයේ සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය විශේෂයෙන් අපේක්ෂා කරන අතර, පවතින තත්වයේ වෙනසක් සිදු කිරීමට සියලු දෙනාම සහයෝගය හා දායකත්වය අත්‍යවශ්‍යයි.
“2024 මාර්තුවේදී විදුලි හා විද්යුත් ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. විද්යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගිතාව, ජාත්‍යන්තර වශයෙන් අදහස් හුවමාරු කරගැනීම, ආයෝජකයන් සඳහා වන අවස්ථා පුළුල් කිරීම ඇතුළු අරමුණු රැසක් සාක්ෂාත් කරගැනීම එහි ප්‍රධාන ඉලක්කයයි.
“ප්‍රවාහනයේදී පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රවාහනයේ පාරිසරික බලපෑම මැඬපැවැත්වීම ඇතුළු අරමුණු සාක්‍ෂාත් කරගැනීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට UNESCAP ආයතනයේ සහ මෙහි සිටින සියලු දෙනාගේ සහයෝගය ඉදිරියේදීත් හිමි වනු ඇති බව මාගේ විශ්වාසයයි.
“විද්යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය දිශානතිය නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක්, මාර්ගෝපදේශනයක් සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, මේ සමුළුවට එක් වන සියලු දෙනාගේම අදහස්ද ඇතුළත් කර, මේ ප්‍රතිපත්ති රාමුව සකස් වනු ඇත. ඒ සියලු යෝජනාද ඇතුළත් කර කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත හැකි වුව හොත් අපේ රටේ ප්‍රවාහන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කිරීම සඳහා, තිරසර ප්‍රවාහන පද්ධතියක් සඳහා වන ජාතික උත්සාහයට හවුල් වීමේ අභිමානය මීට දායක වන සියලු දෙනාට හිමි වනවා.”
UNESCAP ආයතනයේ දායකත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මේ වැඩමුළුවට UNESCAP ආයතනයේ ප්‍රවාහන අංශය නියෝජනය කරමින් මාදාන් බන්දු රේග්මි (Madan Bandhu Regmi), අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහත්වරුන්, ජනාධිපති කාර්යාලය,අගමැති කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මෝටරථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ නිලධාරීන්, විදුලි හා විද්යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ව්‍යවසයකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.
සුභාෂිණී සේනානායක