පෞද්ගලික දුරකතන සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම්පත් මඟින් රියැලටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් අයුතු ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් සොරාගත් එකම පවුලේ මව, දියණියන් තිදෙනකු සහ මවගේ අනියම් සැමියා සොයා විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට ඊයේ (6) කරුණු වාර්තා කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ හලාවත ප්‍රදේශයේ පදිංචි රියැලටි වැඩසටහනක ගායකයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති (උ.පො.ප) සුබසිංහ මහතා විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පැමිණිලිකරු ලියුකේමියා රෝගියකු වන අතර මෙමස අගදී සැත්කමකට ලක් වීමට නියමිතව සිටි බව සඳහන් කරමිනි. මේ සැත්කම සඳහා එකතු කළ මුදල මෙලෙස අන්තර්ජාලයෙන් සොරාගෙන ඇති බවද සුබසිංහ මහතා අධිකරණයට කරුණු දක්වා තිබිණි.
සිද්ධියට අදාළ පැමිණීල්ල ඉදිරිපත් කළ ගායකයා තම රෝගි තත්ත්වය පිළිබඳ සඳහන් කරමින් ඔහුගේ මුහුණු පොතේ කර තිබූ ඉල්ලීමකට අනුව එක්තරා පුද්ගලයකු ඔහුට ඇමතුමක් දී රු. ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කළ හැකි බව සඳහන් කර, ඒ සඳහා ඔහුගේ බැංකු ගිණුම් විස්තර දෙන ලෙසට ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පැමිණිලිකරු ඔහුගේ බැංකු ගිණුම් අංකය දී ඇත. දින දෙකකට පමණ පසු ඔහුගේ ජංගම දුරකතනය එක්වරම දුරකතන ඇමතුම් ගත නොහැකි ලෙස අක්‍රිය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු අදාළ දුරකතන සමාගමට ගොස් දැනුම් දී තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.එම දුරකතන සමාගම දුරකතනය යාවත්කාලීන කළද එපරිද්දෙන්ම දෙවතාවක් නැවත නැවතත් එය සිදු වීම හේතුවෙන් ඔහු එම ආයතනයට ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. පසුව ඉකුත් 28 වැනිදා අදාළ පෞද්ගලික දුරකතන සමාගමේ කඩුවෙල ශාඛාවෙන් පැමිණීලිකරුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත්, පැමිණීලිකරුගේ නැගණියක පැමිණ තම සහෝදරයාගේ සිම් කාඩ් පත අස්ථානගත වී ඇති බැවින් එය නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බව එමගින් දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එහිදී තමන්ට සහෝදරියක් නොමැති බව සඳහන්කරමින් මෙම පැමිණිලිකරු අදාළ ඇමතුමට පිළිතුරු ලබාදී ඇති අතර ඒ අනුව එම පෞද්ගලික දුරකතන සමාගම එම ස්ථානයට පැමිණී අයවලුන්ගේ ඡායාරූප සහ සීසීටීවී කැමරා දර්ශන ලබාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අනුව තමන්ට ලද පැමිනීල්ලට අනුව විමර්ශනයක් ආරම්භ කළ බවත් එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව එකම පවුලේ මව, දියණීයන් තිදෙනා සහ මවගේ අනියම් සැමියා විසින් මෙම වංචාව සිදුකරනු ලැබ තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. මේ සැකකරුවන් සංවිධානාත්මකව මෙවැනි වංචාවල් රාශියක් අන්තර්ජාලය හරහා සිදුකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බැවින් ඔවුන්ගේ දුරකතන අංක අනුව බැංකු ගිණූම් වාර්තා කැදවීමට අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඉදිරිපත් කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති නියෝග නිකුත් කර විමර්ශණ කඩිනම් කර වාර්තා කරන ලෙසට නියෝග කරමින් නඩුව බහා තැබීය.
නිමන්ති රණසිංහ