Saturday, May 10, 2025
Home » පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී SI හිසට වෙඩි තබාගෙන මරුට

පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී SI හිසට වෙඩි තබාගෙන මරුට

by gayan
December 7, 2023 1:00 am 0 comment

අධිවේගි රථ වාහන කොට්ඨාසයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළදී ඊයේ (06) උදෑසන සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම ගිරබේ පදිංචිව සිටි රුවන් කුමාර (54) නමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මෙම නිලධාරියා දරුවන් දෙදෙනකුගේ පියෙකි. දියණියක සහ පුතකු ඔහුට සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය. බිරිය නොච්චියාගම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරිනියක බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පෙර දින රාත්‍රි රාජකාරියේ නිරතව සිට ඇති අතර උදෑසන 6.00ට රාජකාරි අවසන් කිරීමට නියමිතව තිබී ඇත. එහෙත් ඔහු උදෑසන 6.00ට සේවය අවසන් කිරීමේ සටහන් තබා නැති බවත් 6.30ට පමණ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ. මෙදින ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේය.

මෙම නිලධාරියා වෙඩි තබා ගත් හඬ ඇසීමත් සමඟ ක්‍රියාත්මක වූ අධිවේගි මාර්ගයේ සේවයේ නිරත නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඒ ගැන විමසිලිමත් වී තිබේ. උප පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබාගෙන ඇති බව අනාවරණය වී ඇත්තේ එහිදීය. වෙඩි වැදී ලේ විලක් මැද වැටී සිටි උප පොලිස් පරීක්ෂකවරයාව වහාම කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යෑමට එම නිලධාරීන් පියවර ගෙන ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා පරිහරණය කරන ලද ජංගම දුරකතනය ද එම අවස්ථාවේදී තිබී ඇත්තේ ක්‍රියාවිරහිතව බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධිවේගි මාර්ගයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබා ගැනීමට නිශ්චිත හේතුවක් ඊයේ සවස් වනතුරුම අනාවරණය වී නොතිබිණි. ඔහුට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමට තරම් ප්‍රශ්නයක් තිබුණු බවක් ඔහු සමඟ සේවය කළ කිසිදු නිලධාරියකු ද දැන සිට නැත. මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ ඔහුව එම අංශයට කැඳවා තිබී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT