Home » කලාකරුවන් අධිකරණ ඇමතිගෙන් කළ ඉල්ලීම

කලාකරුවන් අධිකරණ ඇමතිගෙන් කළ ඉල්ලීම

by chanaka
December 7, 2023 5:24 pm 0 comment

කලා සංවිධාන හා කලාකරුවන් සදහා විවිධ සංවිධාන පැවතියත් ඔවුන් සදහා ජාතික වශයෙන් වෙනම ආයතනයක් ස්ථාපිත වී නොමැති බැවින් කලාකරුවන් වෙනුවෙන්ම ස්වාධින වු වෙනම ආයතනයක් පිහිටුවීමට පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙස කලාකරුවන් හා කලා සංවිධාන නියෝජිතයින් හා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදී කලා සංවිධාන නියෝජිතයින් සහ කලාකරුවන් මෙම ඉල්ලීම සිදු කළේය.

ස්වාධින ආයතනය ස්ථාපිත කිරීම සදහා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලා සංවිධාන නියෝජිතයින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් මගින් වාර්තාවක් සකස් කර එම වාර්තාව මාසයක් තුළ තමාට භාර දෙන ලෙස අධිකරණ අමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

කලාකරුවන් හා ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් විසින් වාර්තාව ලබා දුන් පසු ආයතනය පිහිටුවීම සදහා වු නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි දායකත්වය හා අවශ්‍ය සෙසු ආයතනවල දායකත්වය ලබා දිය හැකි බව ද අමාත්‍යතුමා පැවසීය.

කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතවන පරිදි බුද්ධිමය දේපල නීතියෙහි කෙරෙන සංශෝධන ද ඇතුලත්ව කළාකරුවන් වෙනුවෙන් සියලු බේද අමතක කර සාමූහිකව සහයෝගය පල කල යුතු බවත් ඒ සඳහා ලැබී ඇති මෙම ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කලාකරුවන්ගේ වගකීම බවත් අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේය.

ඉතා සියුම් ලෙස ගැටළු දෙස බලා විෂයානුබද්ධ දැනුම ප්‍රයෝජනයට ගෙන ගැටලු විසදීම සදහා අධිකරණ අමාත්‍යතුමා ලෙස මැදිහත් වන ආකාරය පිළිබඳ මෙම කමිටුවෙහි සහ කලාකරුවන්ගේ විශේෂ ඇගයීමට ලක්විය.

එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමථාර්තයන් පසෙකලා කලාව රැකගැනීමේ වගකීම සියලු කලාකරුවන් සතු වන බවත්, මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා තමන් මැදිහත් වනුයේ කලාකරුවන් සමග තමන්ගේ ඇති පෞද්ගලික මිතුරුකම් හෝ රුචි අරුචිකම් සලකා බලා නොව කලාව සඳහා අවංක ආදරයක් තමන්ට ඇති නිසා බවත්, අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

විවිධ කලා සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් හා කලාකරුවන් මෙහිදී තම අදහස් ඉදරිපත් කරන ලදී.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා විසින් කලාකරුවන් සහ අධිකරණ අමාත්‍යතුමා අතර පැවති මෙම විශේෂ සාකච්ඡාව සම්බන්ධිකරණය කළ අතර, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රිය දර්ශනී පීරිස්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, සන්තූෂ් වීරමන්, භාතිය ජයකොඩි, කීර්ති පැස්කුවල්, ජානක වික්‍රමසිංහ, කමල් අදදරආරච්චි, රජිව් සෙබස්තියන්, සරත් ද අල්විස්, නවරත්න ගමගේ, සුදත් රෝහණ, තිලක් ද මෙල්, කැලුම් ශ්‍රීමාල්, සනෝජා බිබිලේ, මොහාන් නියාස්, මහේෂ් නිශ්ශංක, සමන් ද සිල්වා, රොහාන් ද සිල්වා, නිලාර් එම්. කාසිම්, ආර්.ප්‍රභාකරන් යන කලාකරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT