පොලිස් අණ නොතකා පලාගිය ලොරියක ටයර්වලට වෙඩි තබා එහි පටවාගෙන යමින් සිටි එළ හරක් 18 දෙනෙකු සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අරලගන්විල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇත.
ඊයේ (06) අලුයම අරලගන්විල වෙහෙරගල 7 කණුව හංදියේ මාර්ග බාධක රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් ලොරිය නවත්වන ලෙස අණකළ අවස්ථාවේ අණ නොතකා ලොරි රථයේ රියැදුරු පොලිස් නිලධාරීන් යටකිරීමට උත්සාහකර ලොරිය නොනවත්වා දෙහිඅත්තකණ්ඩිය දෙසට පලාගොස් තිබේ.
මෙම අවස්ථාවේ පලාගිය ලොරිය ලුහුබැඳ ගිය පොලිස් නිලධාරින් යතුරුපැදිවලින් කිලෝමීටර් 2ක් පමණ දුරක් හඹා ගොස් ධාවනය වන ලොරියේ ටයර්වලට වෙඩි තබා හරක් ප්‍රවාහනය කළ ලොරිය සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැටලීම සිදු කළ අරලගන්විල පොලිසියේ නිලධාරියකු පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තෙල්දෙණිය, දිගන, රජවැල්ල සහ මඩවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරගෙන යයි.
ඇළහැර – සරත් වෙලගෙදර, සිරිපුර – මධුෂානි අබේසිංහ