Home » අළුබෝමුල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානය මරු කපොල්ලක්

අළුබෝමුල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානය මරු කපොල්ලක්

by sachintha
December 7, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පවතින අලුබෝමුල්ල කිරිපැලැල්ලගහවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානය තුළට අවට මාර්ගවලින් වැසි ජලය මඩ සමග ගලා ගෙන ඒමෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානය තමන්ට මරු කපොල්ලක් වී ඇතැයි ගැබිනි මව්වරු පවසති.

මේ හේතුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානය තුළ එකම මඩ ගොහොරුවක් බවට පත් වී ලිස්සනසුළු වීමෙන් තම ජීවිත මෙන්ම හෙට දින එළිය දකින්න පෙරුම් පුරණ දරුවන්ගේ ජීවිත ද අනතුරේ බව ඔවුහු කියති.

මහබෙල්ලන අලුබෝමුල්ල නැගෙනහිර හා බටදොඹතුඩුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාස තුනකට අයත් ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, පවුල් සංවිධාන කටයුතු සඳහා උපදෙස් ලබා ගන්න මෙන්ම ත්‍රිපෝෂ ලබා ගැනීමට පැමිණෙන මව්වරුන් විශාල පිරිසක් මෙම මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන අතර මඩ ගොහොරුවක් බවට පත්වී ලිස්සනසුලු තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් ඇතැම් ගැබිනි මව්වරු මෙම මධ්‍යස්ථානය වෙත පැමිණීමට මහත් බියක් දක්වන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය වටා තිබෙන අතුරු මාර්ග ප්‍රදේශයේ මන්ත්‍රීවරු කොන්ක්‍රීට් යොදා තරඟයට සංවර්ධනය කළ ද ඒවාට නිසි පරිදි කානු පද්ධතියක් යෙදීමට කටයුතු නොකිරීම හේතුවෙන් ගලාගෙන යන වැසි ජලය මධ්‍යස්ථානය තුළට මඩ සමග එකතුවන බව මව්වරු පවසති.

විශේෂයෙන් වැසි දිනවලට ඇතිවන මෙම තත්ත්වය හේතුවෙන් මව්වරුන්ට සේවය ලබාදීම සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලයට සිය සේවය ලබා දීම පසෙකලා මධ්‍යස්ථානය සුද්ද පවිත්‍ර කර මව්වරුන්ට ගැලපෙන ලෙස මධ්‍යස්ථානය සකස් බිමට කඩදාසි යොදා ලිස්සන බවින් වළක්වා කටයුතු කර අනතුරුව සේවය ලබා දීමට සිදුවී ඇත.

වැසි ජලය මඩ සමග මධ්‍යස්ථානය තුළට පැමිණීම හේතුවෙන් මව්වරුන් වෙත නොමිලේ ලබාදෙන ත්‍රීපෝෂ ආරක්ෂා කර ගැනීමට ද දැඩි ගැටලුවක් බවට පත්වී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

මේ පිළිබඳ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චමිලා බාලසූරිය මහත්මියගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය.

සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතිවී ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් ගැබිනි මව්වරුන්ට මවුවරුන්ට දැඩි අනතුරුදායක තත්ත්වයක් බව පිළිගන්නවා, මේ තත්ත්වය හේතුවෙන් කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා, මෙම සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් ලිඛිතව ඉහළ බලධාරීන් දැනුම්වත් කර තිබෙනවා.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT