ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කරන ජාතික වොලිබෝල් තරගාවලියේ පිරිමි සුපර් ලීග් තරග අද (7) ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.
මෙවර තරගාවලියට අඛණ්ඩව 17 වැනි වරටත් මංචි අනුග්‍රහකත්වය ලබා දී ඇති අතර, තරගාවලිය මංචි කුසලානය වෙනුවෙන් පැවැත්වෙයි.
පිරිමි තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වන අතර, පසුගිය ශූර ගුවන් හමුදාව සමඟ යුද හමුදාව, බෙස්ට් පැසිපික් සහ පොලිස් ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයෙනුත්, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව සහ ඕෂන් ලංකා කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙනුත් තරග බිමට පිවිසෙයි.
මූලික වටයේ තරග අද සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අවසන් වටයේ තරග 10 වැනිදා දඩැල්ලේදීම පැවැත්වේ.
මේ අතර ඊයේ පැවති කාන්තා සුපර් ලීග් අවසන් පූර්ව වටයේ තරග ජය ගනිමින් අවසන් තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට පසුගිය ශූරියන් වූ ගුවන් හමුදාව සමඟ යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදාව හමුවේ හයිඩ්‍රාමනී කණ්ඩායම වට 3-0කින් පරාජය විය. තරගයේ පළමු වටය 25-16ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ගුවන් හමුදාව සමත් වුවද දෙවැනි වටයේදී දැඩි අභියෝගයක් එල්ල කළ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ පරාජය වූයේ ලකුණු 27-25ක් ලෙසිනි. තෙවැනි වටයේදී යළි පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූයේ ලකුණු 25-14ක් ලෙසිනි.
ඉතා තියුණු මුහුණුවරක් ගත් දෙවැනි අවසන් පූර්ව තරගයෙන් යුද හමුදාව ජය ගත්තේ වට 3-2කිනි. පළමු වටයේදී ලකුණු 25-18ක් ලෙස පරාජය වූ යුද හමුදා පිල තියුණු සටනකින් අනතුරුව දෙවැනි සහ තෙවැනි වටයන් ජය ගත්තේ ලකුණු 26-24ක් සහ 26-24ක් ලෙසිනි. සිවුවැනි වටයේදී යළි නාවික හමුදා පිල ලකුණු 25-15ක ජයක් වාර්තා කළ අතර, 5 වැනි වටය 15-9ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයට එක් වීමට යුද හමුදා පිලට හැකි විය.
මේ තරග දෙකෙන් පරාජය වූ හයිඩ්‍රාමනී සහ නාවික හමුදාව අතර තෙවැනි ස්ථානය සඳහා පැවති තරගය 3-0කින් (24-23, 25-19 හා 25-15) ජය ගැනීමට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මේ තරගාවලියේ මෙන්ම පිරිමි තරගාවලියේත් අවසන් මහ තරගය පැවැත්වෙන් මේ මස 24 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.
පිරිමි සුපර් ලීග් තරග කාලසටහන
අද (7): ගුවන් හමුදාව – පොලිසිය (පෙ.ව. 9.00), යුද හමුදාව – බෙස්ට් පැසිපික් (පෙ.ව. 11.30), විදුලිබල මණ්ඩලය – ඕසන් ලංකා (ප.ව. 2.00), වරාය අධිකාරිය – නාවික හමුදාව (ප.ව. 4.00)
හෙට (8): විදුලිබල මණ්ඩලය – නාවික හමුදාව (පෙ.ව. 9.00), ඕසන් ලංකා – වරාය අධිකාරිය (පෙ.ව. 11.30), ගුවන් හමුදාව – බෙස්ට් පැසිපික් (ප.ව. 2.00), පොලිසිය – යුද හමුදාව (ප.ව. 4.00)
9 දා: ගුවන් හමුදාව – යුද හමුදාව (පෙ.ව. 9.00), බෙස්ට් පැසිපික් – පොලිසිය (පෙ.ව. 11.30), විදුලිබල මණ්ඩලය – වරාය අධිකාරිය (ප.ව. 2.00), නාවික හමුදාව – ඕසන් ලංකා (ප.ව. 4.00)
10 දා: පළමු අවසන් පූර්ව තරගය (පෙ.ව. 9.00), දෙවැනි අවසන් පූර්ව තරගය (පෙ.ව. 11.30), තෙවැනි ස්ථානය සඳහා තරගය (ප.ව. 4.00)
නිරෝෂාන් ප්‍රියංකර