Home » රටේ ණය ගෙවන අලුත් ක්‍රමයක්

රටේ ණය ගෙවන අලුත් ක්‍රමයක්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

උදේ සිට කරත්ත කට්ටක් තල්ලු කරගෙන, පරණ යකඩ එකතු කර, යකඩ බඩු කඩේට විකුණන හෙරොයින් සඳහා ඇබ්බැහි වූ මිනිසා දැන් වැඩිපුර ගසන්නේ පාන් පිටිය. මේ යකා අහල පහල කඩයකට ගොස් පාන් පිටි කිලෝවක් ගෙන දුමක් දැම්මා නම්, මතේ නොදැනුණද අතේ ගාණට තට්ටු වෙන්නේ නැත.

දැන් අල්ලන්නේ කුඩු ලෝඩ් ගණනින්ය. හොරට වැලි අදින ලොරියක කියුබ් ගාණට වඩා, මුහුදෙන් දැන් කුඩු අහුවෙන්නේය. මෙහෙම අල්ලන කුඩුවලට මොකද වෙන්නේ කියා සොයා බැලුවහොත්, බොහෝ දෙනෙක්ගේ කාඩ් කුඩු වෙනවා ඇත. නාවික හමුදාව මහ මුහුදේ මැදට ගොස් රැකගෙන සිට කුඩු ටොන් ගාණක්, එහි සිටින පිරිස සමඟ වෙරළට ගෙන එන්නේය. ලෝඩ් එක හියුජ් බැවින් මාර පබ්ලිසිටියක් ද ලැබෙන්නේය. මේවා දකින හුදී ජනයා, පහන් සංවේගයට පත් වන්නේ, තම දරුවාගේ අනාගත සුරක්ෂිත බව සිතමිනි. බඩු ලෝඩ් එක එතැනින් කොහාට ගියද අන්තිමට යන්නේ මාකට් එකටය. මාකට් එකට යන බඩු ද ‘කලවම් සාගරයකි’. හෙරොයින් මාත්‍රාව එහි ඇත්තේ අල්ප වශයෙනි. ඒවා නම් අවුලක් නැත. ඔරිජිනල් එසන්ස් එක ගත්තා කියන්නේ, ළඟ ළඟ සෙත්තපොච්චිය. ඔහොම ‘අඩුවට කුඩු – වැඩිපුර කලවම’ ආ කල්හි, අර යකා ආමාශයට යවා ගත යුතු කාබෝහයිඩ්‍රේට්, ශ්වසන පද්ධතියට යවාගන්නවා හැර වෙන අවැඩක් නැත.

පරිණාමය කියන්නේ, තත්ත්වයේ හැටියට හැඩ ගැසීමය. මේවා කාලාන්තරයක් යන ක්‍රියාදාමයකි. ඔහොම කාබෝහයිඩ්‍රේට් ශ්වසන පද්ධතිය දිගේ උදේ හවා එනවා දකින ඇඟ සිතන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය සහ ශ්වසන පද්ධතිය මේ යෝධයා පටලවාගෙන ඇති බවය. එහෙව් විටක පරිණාමය විසින් දෙක මාරු කරගෙන, වැඩේ හරි ගස්සා ගැනීම සඳහා ට්‍රයි එකක් දෙන්නේය. කාලයක් යන විට ශ්වසන පද්ධතියෙන් කෑම ජීර්ණය ද ආහාර ජීර්ණ පද්ධතියෙන් හුස්ම ගැනීමට ද ‘අලුත් මිනිස් දේහයක්’ උපදිනවා ඇත.

ඇඟ ඔහොම කල්පනා කර හැදෙන විට, අල්ලන කුඩු ද පාන් පිටි වෙන බැවින් ඒ ගැන තවත් තියරියක් උපදිනවා ඇත. මේ වසරේ නොවැම්බර් 8 දා තෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය කියා විවිධ පොලිසිවලින් එවූ සාම්පල් 7,351කින් සාම්පල් 790ක්ම පාන් පිටි හෝ පැනඩෝල් කුඩු බවට සනාථ වූ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. සාම්පලය මාරු කරා කියන්නේ වැඩ දෙකක් සිද්ධ වෙන බවය. අල්ලා ඇත්තේ පාන් පිටි බැවින් කුඩු බෙදන ලද එකා ගොඩය. ඒ මිනිසා බෙදා ඇත්තේ පාන් පිටිය. පාන් පිටි ඒජන්සියක් කරගෙන යෑම නීතිය අනුව වරදක් නොවේ. මේ බව කල්තියා දැන ගන්නා කුඩු ඩීලර්, ‘මුහුණේ, අතේ පයේ’ පාන් පිටි ටිකක් තවරාගෙන, බේකරියේ මෝලිය අල්ලන එකා සේ අධිකරණයට පැමිණ “ස්වාමිනි… මම දැනුත් පිටි බෙදමින් හිටියේ’ යැයි කියූ කල්හි, අර මිනිසා නිකම්ම පිටි මුදලාලි කෙනෙක් බවට රූපාන්තරණය වන්නේය. පැනඩෝල් කුඩු ඇති සාම්පල් හිමිකරුවෙක් අධිකරණයට යා යුත්තේ ෆාමසියේ මහතා සිටින පරිදි දොස්තර ලෝගුවවන් ඕවර් කෝට් එක දමාගෙන, බෙහෙත් තුණ්ඩුවක් දෙකක් ද සාක්කුවේ දමාගෙනය. එහෙව් විටක ඒ කුඩු මුදලාලි (ෆාමසිස්) වන්නේය. අපරාධයක් අල්ලන්ට ගොස් ඔහොම වෘත්තිය මාරු කරන සමාජ පරිණාමයක් ද මේ අනුව බිහි වෙනවා ඇත.

අල්ලන කුඩු ටික මාරු කර ගන්නේ නැතිව, අධිකරණයට සාම්පල් ගෙන, විනාශ කරනා තැන දක්වා රැගෙන යෑමට නොහැකිය කියන්නේ, මේ රට හදන එක සෙල්ලම් නැති බවය. මේ හොරකම නොවේ. හොර බඩු ද හොරකම සඳහා යොදා ගැනීමය. මෙහෙම බලනකොට තොගේට බඩු අල්ලනවා කියන්නේ එකෙක් මහන්සි වී, මුහුදු හතෙන් එහා සිට ගෙනෙන හෙරොයින් ලෝඩ් එක, වෙන එකෙක්, අත යටින් ගන්නවා වගේ වැඩකි. කොච්චර ඇල්ලුවත් විනාශ කිරීම සඳහා යන්නේ පැරසිටමෝල් කුඩු නම්, තව ටික දවසකින් උණ හෙම්බිරිස්සාව, හිසේ රුදාව සඳහා පැරසිටමෝල් පෙත්තක් ගැනීමට, ෆාමසියට නොව පළාතේ කුඩු මුදලාලි සොයා යා යුතු තත්ත්වයකට අප මුහුණ දෙනවා ඇත.

උසාවියේ නඩු භාණ්ඩ ගබඩා කියන්නේ දැන් ඕනෑම අයෙකුට කැමති බඩුවක් ගෙන යා හැකි තැනකි. මේ ළඟදී නඩුවකට අලුත්කඩේ උසාවියට ආ ‘මර්සියෙක්’ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් වයර් රෝලක් ද රැගෙන ගෙදර යන්නට පැමිණියේය. එන ගමන් ගෙදර වයරින් වැඩක් සඳහා අවශ්‍ය අඩුම කුඩුම ගන්නට, හාඩ්වෙයාර් එකට නොයා “මෙහෙ බඩු තිබේ නම්, නිකම්ම අරගෙන යන්න පුළුවන්” යන චිත්‍රය උඩ ඒ මිනිසා වයර් රෝල ද රැගෙන එළියට යන්නට ආවා විය හැකිය. බඩු මාට්ටු වූයේ, උසාවියේ පිටවීමේ ගේට්ටුවේදීය. තමන් දන්නා කියන උදවිය එහෙම මෙතැනින් බඩු අරගෙන යන හෙයින්, ඒ ‘බබා’ ද බඩුවක් අරගෙන යන්නට හැදුවද, ඒවා තහනම් හෙයින් දැන් ‘බබා’ ඇතුළේය.

මාතර නඩු බඩු ගබඩාව යනු නඩු ගොඩකි. මුලින්ම එහි තිබූ හෙරොයින් තොගයක් අතුරුදන් විය. ඒ ගැන පරීක්ෂණ කරගෙන යන විට, ගබඩාවේ තිබූ රිවෝල්වරයක් සහ ටී පනස් හයේ ගිනි අවියක් ද එළියේ වැඩ සඳහා විකුණා දමා තිබුණි. දැන් එහෙන් මෙහෙන් තුවක්කු සොයාගෙන, ගේම් දීමට පාතාලයෝ මහන්සි වන්නේ නැත. ගබඩාවේ ඇත්නම් බඩු ගත හැක්කේය. ඔය ආකාරයට බඩු එළියට පන්නා ඇත්තේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ය. වැඩට එන ගමන් ‘බහුකාර්යය’ යන වචනය ගැන මේ සෙට් එක කතා කර ගන්නට ඇත. උසාවියේ වැඩ කිරීම ‘ඒකකාර්යය’ බැවින් එළියේ අය සඳහා ද කාර්යයක් කිරීම, මේ නම අනුව හැකි යැයි සිතා, නඩු බඩු ගබඩාවේ ඇති බඩු ටික ‘මේ බඩු ටික’ විසින් එළියට මුදා හරින ලදි.

මේ රටේ වැඩ කෙරෙන තාලය එසේය. ඔය පුරුද්ද හොඳ වැඩකට යොදා ගත හැක්කේ මේ කම්බා හොරු සෙට් එක වෙනත් රටකට යැවුවා නම් එහෙ තිබෙන බඩු ටික මෙහෙට ඇද, අපේ ණය තුරුස් ආදිය ද සුරුස් ගා ගෙවා ගැනීමට යොදා ගැනීමෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT