Home » රමණීය වූ පරම ආලය ගෙනා නළඟන අද ජාතික රූපවාහිනියේ සිනේ ඡායා තුළින්

රමණීය වූ පරම ආලය ගෙනා නළඟන අද ජාතික රූපවාහිනියේ සිනේ ඡායා තුළින්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

මේ සතියේ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘නළඟන’ චිත්‍රපටය කරුණු කිහිපයක් හේතුවෙන් වැදගත් වන බව කිව යුතුය. ඉන් එක් කරුණක් වන්නේ මීට දින කිහිපයකට පෙර මිය ගිය ලීනා ද සිල්වා නළඟන චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වීමයි. චිත්‍රපටයේ වැඩ කටයුතු හා සම්බන්ධ වනවිට ඇය වයස අවුරුදු 24ක තරුණියකි. මෙම චිත්‍රපටයේ ගීත 10ක් අන්තර්ගත වන අතර වැදගත් වන්නේ, එකම තනුවකින් හා පද රචනයකින් යුත් ගීයක් දෙවතාවක් චිත්‍රපටය තුළ වීමයි. එක් වරකදී මොහිදින් බෙග් හා රුක්මණි දේවි එය ගායනා කළ අතර තවත් වරෙක එය ගායනා කරනු ලැබුවේ පී.එස්.බී. රාණි පෙරේරාය. මෙම කරුණද එක් වැදගත් සිදුවීමකි. එකී ගීතය වූයේ අදටද ජනප්‍රිය

“පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී ලෝලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යනුද නොම තේරේ”

යන ගීතයයි.

ගීතය පිළිබඳව කතා බහ කළ අතරතුරම සංගීතය සම්බන්ධයෙන් ද යමක් කිව යුතුය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ආර්. මුත්තුසාමිය. කෙසේ වෙතත් ජයවිලාල් විලේගොඩයන් විසින් සඳහන් කර ඇත්තේ ‘හිල් ස්ටේෂන්’ හින්දි චිත්‍රපටයට හේමන්ත් කුමාර සැපයු පසුබිම් සංගීතය මුත්තුසාමි විසින් අනුකරණය කර ඇති බවයි. මේ බව 1957 – 1961 සිංහල චිත්‍රපට ගීතාවලිය තුළ සඳහන් කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. නළඟන චිත්‍රපටයේ වඩා වැදගත්ම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තහනම් කළ චිත්‍රපටය ලෙසින් මෙය හැඳින්විය හැකි වීමයි. එයට හේතුව ලෙසින් චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය විසින් සඳහන් කර ඇත්තේ සිංහල සංස්කෘතියට, කුලසිරිතට මෙන්ම බුදුදහමට මෙම චිත්‍රපටයේ දර්ශන නිසා හානියක් වන බවයි. එහෙත් එවක විචාරකයින් පෙන්වා දී ඇත්තේ ඒ දිනවල බොහෝ දෙනා අතර වැදගත් චරිතයක් වූ රුක්මණී දේවිය. බටහිර පන්නයට ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සමාජ ශාලාවක නළඟනකගේ චරිතයක් නිරූපණය කිරීම මෙයට හේතුව විය හැකි බවකි.

කොයිහැටි වෙතත් නළඟන චිත්‍රපටය 35mm ප්‍රමාණයේ කළුසුදු චිත්‍රපටයක් ලෙසින් තිරගත වූයේ 1960-07-17 වන දිනයි.

මෙහි ප්‍රධාන චරිත රඟදැක්වූයේ එවක නිළි රැජන ලෙසින් අභිෂේක ලත් රුක්මණි දේවිය සහ රවීන්ද්‍ර රූපසේන විසිනි. චිත්‍රපටයේ නිෂ්පාදනය එස්.එම්. නායගම්ගේය. අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරනු ලැබුවේ එල්.එස්. රාමචන්ද්‍රයන්ය. ශ්‍රී ලාංකේය සිනමාවේ 70 වන චිත්‍රපටය වූ නළඟන චිත්‍රපටය සඳහා සම්බන්ධ වූ නළු නිළියන් වන්නේ එඩී ජයමාන්න, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ජෝ අබේවික්‍රම, විජිත මල්ලිකා, ශ්‍රීමනි රසාදරී, උදුලා දාබරේ, රූබී ද මෙල්, ලීනා ද සිල්වා, ඩඩ්ලි වානගුරු, රිචර්ඩ් ඇල්බට්, නාලනී අබේපාල සහ සුසිලා මල්ලිකාආරච්චිය.

ඉහත සඳහන් කිරීමකදී දක්වා ඇත්තේ ආර්. මුත්තුසාමි ‘හිල් ස්ටේෂන්’ හින්දි චිත්‍රපටයේ පසුබිම් සංගීතය නළඟන චිත්‍රපටයට යොදා ගෙන ඇති බවයි. යම් විටක එය එසේ වන්නට ඇත්තේ 1957 වසරේ තිරගත වූ ‘හිල් ස්ටේෂන්’ චිත්‍රපටයේ කතාව ඇසුරින් පිටිපන සිල්වා විසින් නළඟන චිත්‍රපටයේ දෙබස් ලියූ නිසාද වන්නට පුළුවන. චිත්‍රපටය පිළිබඳව විවිධ පුවත්පත්වල ලිපි පළකොට තිබූ අතර 1960 ජූලි 05 දින රුක්මණි දේවි දිනමිණ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තමා නළඟන චිත්‍රපටයට එක්වීම මඟින් කිසිදු කලකිරීමක් තම සිතෙහි හට නොගත් බවය. එමෙන්ම, ෆ්ලොරිඩා ජයලත්ගේ ලිපියක් ද එදිනම දිනමිණ පුවත්පතේ පළ කර තිබිණි.

කෙසේ වෙතත් තහනම් කරන්නට තීරණය කර තිබූ චිත්‍රපටය එක් දර්ශනයක් පමණක් වෙන් කොට ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබුණේ එවක සංස්කෘතික ඇමැතිවරයාගේ නියෝගයක් සමඟිනි.

නළඟන චිත්‍රපටයේ චරිත විසිරී ඇත්තේ මේ ආකාරයෙනි. සුනිල් – රවින්ද්‍ර රූපසේන, ප්‍රේමා – රුක්මණී, සුනිල්ගේ මව රූබී ද මෙල්, ඔහුගේ මිතුරා එඩී ජයමාන්න, සමාජ ශාලාවේ මැනේජර් එච්. ඩී. කුලතුංග, විකී ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ලීලා – වීනාද සිල්වා, සුනිල්ගේ සොහොයුරිය – උදුලා දාබරේ ලෙසිනි.

චිත්‍රපටය රාත්‍රී 10.00ට විකාශය වීමට පෙර රාත්‍රී 9.30 සිට චිත්‍රපටය පිළිබඳව විචාරයක් ද විකාශය වීමට නියමිතය. ඊට මෙවර සහභාගී වන්නේ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ගුණරත්නය.

 

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x