ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා දීමේදී හන්තානයේ ඉඩම් පර්චස් එකක් රුපියල් දෙකයි ශත 38 බැගින් අක්කර 22ක් බෙදා දීමෙන් රුපියල් බිලියන පහකට වඩා විශාල වංචාවක් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (06) පැවසීය.
ඉඩම්, සංචාරක, බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද පැවසුවේය.
ක්‍රීඩාවේ යා හැකි උපරිම ඉහළට ගිය රටක් විදිහට ශ්‍රී ලංකාව හැඳින්විය හැකියි. නමුත් තිබෙන මාෆියාව තුළ ක්‍රීඩාවට යම් යම් බාධාවන් එල්ල වෙනවා. රටේ තිබෙන ඉඩම් ටික නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි. තරුණයන් කෘෂි කර්මාන්තයට කැමැතියි. තරුණයන්ට ඉඩම් ලබා දී ඔවුන් කෘෂි කර්මාන්තයට නැඹුරු කළා නම් හොඳයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ සිදු කරන ගනුදෙනු අපි නැවැත්තුවා. අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ක්‍රියා කළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා දීමේදී 2020 සිට පසුගිය කාලයේදී බිලියන 50කට වඩා විශාල වංචාවක් කර තිබෙනවා. 2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබා දී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි ශත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු හෝම් ලෑන්ඩ් කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා. ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ 10 බැගින්. මේ අක්කර 22න් පමණක් රුපියල් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය විසින් වංචා කර තිබෙනවා. හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා. මේ සභාපතිවරයා අද ඉන්නේ එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර 10ක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙසම විකල්ප ඉඩමක් ලෙස ලබා දී තිබෙනවා. මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ 10 බැඟින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබෙනවා.
රාජ්‍ය මුදල් අවභාවිතාවන් පිළිබඳව විපක්ෂ නායකවරයා නිරන්තරයෙන්ම කතා කරනවා. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් ගැන කෝප් කමිටුව වාර්තා කළා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ විගණනයක් සම්බන්ධයෙන් තමයි පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් ගත්තේ. මමත් අද ඉදිරිපත් කරන්නේ ඒ වගේ විගණනයක් සම්බන්ධයෙන්. රාජකාරී වශයෙන් කෝප් කමිටුවට පැමිණි විගණනයක් සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. විගණන විමසුම පදනම් කරගෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කරන්නේ රුපියල් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් අවභාවිත කර තිබෙන බවට. මේ සඳහා පාලක මණ්ඩල අනුමැතියක් අවශ්‍යයි. එහි සභාපතිවරයා විදිහට සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා. එතුමාගේ අනුමැතියක් නැතිව මේ රාජ්‍ය මුදල් අවභාවිත කර තිබෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවට සේවක කාඩර් එකේ නැතිව 1300ක් අරගෙන තිබෙනවා. ඒ අයට වැටුප් ගෙවා තිබෙනවා. ඒ ගැන විගණනයක් තිබෙනවා. වැරදි කළා නම් ඒ අයට නීතිය සාධාරණ විය යුතුයි. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් දැඩිව විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යාංශයේ සිටියදී කිසිදු අනුමැතියකින් තොරව සේවකයන් 3000ක් අරගෙන තිබෙනවා. නිවාස අධිකාරියේ මිලියන ගණනක මුදල්වලින් ඒ පෝස්ටර් ගහලා තිබෙනවා.
මම රුපියල් ලක්ෂ 25ක් වසරකට ආදායම් බදු ගෙවනවා. මගේ පරම්පරාව මුදල් තිබෙන අය. විපක්ෂ නායකවරයාට මඩෙන්ද ගහන්න ඕන. මඩෙන් නම් මඩෙන් ගහන්නම්. ගොඩින් එනවා නම් ගොඩින් බේරා ගමු. මරික්කාර් මන්ත්‍රීවරයාම කියනවා පාලක මණ්ඩලයේ අනුමැතියක් නැතිව තමයි මුදල් භාවිත කළේ කියලා. ඉතිං ඒක අවභාවිතාවක් නෙමෙයිද. සජිත් ප්‍රේමදාස මහතා මුදල් අවභාවිත කර නැත්නම් මම මගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නම්. 2015 – 2019 කාලය තුළ රුපියල් මිලියන 2099ක ණය මුදලක් රාජ්‍ය බැංකුවකින් ගෙන තිබෙනවා. මිලියන 4100ක මුදල් අවභාවිත කර තිබෙනවා. රාජ්‍ය මුදල් අයථා පරිහරණය නැවැත්වීමට විපක්ෂ නායකවරයා කතා කරනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, නිවාස අධිකාරිය ඇතුළු ආයතනවලින් මුදල් අවභාවිත කර තිබෙනවා. සැලුන් එකක 11 දෙනකුට වැටුප් ගෙවා ඇති බවටත් සඳහන් වෙනවා. රුපියල් බිලියන 20කට වැඩිය මුදල් අවභාවිත කර තිබෙනවා. ඒ ගැන පරීක්ෂණ තැබිය යුතුයි. මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් වුණා.
අද විපක්ෂ නායකයා වෙනුවෙන් පෙනී සිටින්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. ඔබතුමාට සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ හොඳ තනතුරක් ලැබෙයි. යම් පුද්ගලයෙක් වැරැදි කර තිබේ නම් දඬුවම් ලැබිය යුතුයි. මම මේ දේවල් කියන්නේ විගණන වාර්තාවක් පදනම් කරගෙන. ඒවා වැරැදි නම් මම ඉල්ලා අස්කර ගන්නවා. කෝපා එකත් එක්ක දාපු ඩීල් එක ගැනත් ඕන නම් කියන්නම්. අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තාව විපක්ෂ නායකවරයාට මම දුන්නා. ඒ ගැන කිසිම වචනයක් එතුමා කිවුවේ නැහැ. කොන්ද පණ තිබෙන විපක්ෂ නායකවරයෙක් නම් අද එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෙ යැයි පැවසීය.