ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “දෙවෙනි පොල් ත්‍රිකෝණය උතුරට” සංකල්පය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට අත්වැලක් වීම පිණිස ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතාගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා (වන්නි) බලප්‍රදේශය ආවරණය වන පරිදි එනම් අනුරාධපුර, වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුළ පොල් පැළ 100000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
මේ සඳහා එම දිස්ත්‍රික්ක තුළ වෙසෙන පොල් වගා කිරීමට කැමැත්තක් දක්වන සහ ඒ සඳහා සුදුසු ඉඩම් හිමි අයවලුන් තෝරාගෙන ඔවුන් වෙත පොල් පැළ ලබාදීම ඇතුළු පොල් වගා කිරීමට අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයා දෙනු ලබයි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන සඳහා පොල් නිෂ්පාදන අපනයනය කරනු ලබන ට්‍රොපිකෝ(ර්) ලංකා පුද්ගලික ආයතනය, පොල් සංවර්ධන මණ්ඩලය හා මහජන බැංකුව මේ වන විට අනුග්‍රහය දක්වනු ලබන අතර, එම ආයතනය මඟින් පොල් පැළ නොමිලේ ලබා දී පොහොර සහනාධාර හා අඩු පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම සිදුකරනු ලබයි.
දැනට මෙම වැඩසටහන මඟින් පොල් පැළ 25000ක ප්‍රමාණයක් බෙදා දී අවසන් කර ඇත. පොල් පැළ බෙදාදීම පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදුකරනු ලබන අතර, ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි අයවලුන් වෙත පහසුකම් සැලසීම පිණිස පොල් පැළ බෙදා හැරීමේ ජංගම සේවයක්ද අදාළ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කර ඇත.
මෙම ජංගම සේවය මඟින් දැනට මන්නාරම දිස්ත්‍රික්කය තුළ තල්අඩි, පෙරියමඩු, කොන්ඩච්චි, සිලාවතුර, විකුම්පුර ආදී ප්‍රදේශයන්වල ද වවුනියාව දිස්ත්‍රික්කය තුළ මරතොඩේ, රබවේට්ටි, කොක්එළිය, පාලිනගර්, අම්බාර්කුලම හා නේරම්කන්ඩාල් යන ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් සපයමින් ඔවුන්ගේ වගා ඉඩම් වෙත පොල් පැළ ලබාදීම සිදු කර ඇත.
ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) මඟින් සපයා දෙනු ලබන පොල් පැළ 21 පාබල සේනාංකය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළද, 54 පාබල සේනාංකය මඟින් මන්නාරම දිස්ත්‍රික්කය තුළ ද, 56 සේනාංකය මඟින් වවුනියාව දිස්ත්‍රික්කය තුළද පොල් පැළ බෙදාහැරීම සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙයට සමගාමීව මෙම පොල් වගා කරනු ලබන ඉඩම් සඳහා අමතර වගාවක් ලෙස කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. මෙම දිස්ත්‍රික්ක තුළ පදිංචි අයවලුන් ළඟම ඇති යුද හමුදා කඳවුරු හා සම්බන්ධ වීමෙන් මෙම වැඩසටහන හා එක් විය හැකිය.