Saturday, May 10, 2025
Home » කුරුණෑගල නගරාධිපති තුෂාර ඇතුළු පිරිසකට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා

කුරුණෑගල නගරාධිපති තුෂාර ඇතුළු පිරිසකට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා

by mahesh
December 8, 2023 12:55 am 0 comment

නෙල්කා මැදගෙදර

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (7) දන්වා සිටියේය. නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් දෙන ලද අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම් පහක් කැඳවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේය.

යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවන ලදි.

එහිදී වගඋත්තරකාර කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සඳහන් කළේ සිය සේවාදායකයන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ මේ වන විටත් අධි චෝදනා ගොනු කර ඇති බැවින්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් සහ පුරාවිද්‍යා පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් ඉල්ලා අස් කරගැනීමට අපේක්ෂා කරන බවයි. ඊට අවසර දෙන ලෙස ඔහු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කර ඇති බවද කීය‍.

ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ මෝසම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කළේය. ඒ අනුව අදාළ මෝසම සහ පෙත්සම් මේ අභියාචන පෙත්සම් මීට පෙර විභාගයට ගත් පූර්වගාමි විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට තීරණය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලෙස නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT