Home » වික්ටෝරියා පාලමෙන් වැටුණැයි කී සැරයන්ගේ සිරුර දෙහිවල වැල්ලේ

වික්ටෝරියා පාලමෙන් වැටුණැයි කී සැරයන්ගේ සිරුර දෙහිවල වැල්ලේ

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටී අතුරුදන් වූ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාගේ සිරුර සතියකට පසු පෙරේදා (6) දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී හොයාගෙන තිබේ.

ජයලත් පෙරේරා (50106) නමැති මේ සැරයන්වරයා කැලණි ගඟට වැටී තිබුණේ පසුගිය නොවැම්බර් 29 දා පෙරවරුවේදීය. වයස අවුරුදු 58ක් වන ඔහු ඒ වන විට යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්ය. ඒ වන විට මේ නිලධාරියා සිට ඇත්තේ රාජකාරි විවේක ලබා බව පොලිසිය කියයි. මේ නිලධාරියාගේ සිරුර හමු වන විට සතියක පමණ කාලයක් දියේ තිබී ඇති නිසා එය නරක් වී තිබුණු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා පෙරේදාම බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ අවසන් කටයුතුද කර තිබේ.

බොරලැස්ගමුව දිවුල්පිටියේ පදිංචිකරුවකු වන මේ නිලධාරියාගේ ජංගම දුරකතනයත්, පොලිස් රෝහලින් ප්‍රතිකාර ගන්නා කාඩ්පතත්, බස් ගමන් බලපත්‍රයත් ඔහු කැලණි ගඟට වැටුණු දින පාලම මත තිබී පොලිසියට හමුවී තිබිණි.

මේ නිලධාරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු අයුරු ගැන පැහැදිලි තොරතුරක් නැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළ අතර, ඔහු සොයා පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවෝ හා නාවික හමුදාවේ කිමිදුම්කරුවෝ දින කිහිපයක්ම කැලණි ගඟේ සෝදිසි මෙහෙයුම්වලල නිරත වූහ. කැලණි ගඟේ ජල මට්ටම වැඩි වී තිබීමත් ජල ධාරාව අධික වේගයෙන් මුහුදට ගලා බසිමින් තිබීමත් හේතුවෙන් සැරයන්වරයාගේ සිරුර සොයාගැනීම කිමිදුම්කරුවන්ට පහසු කටයුත්තක් නොවීය. දින කිහිපයකට පසු මෙහෙයුම් නතර කරනු ලැබ තිබුණේ සිරුර මුහුදට ගසාගෙන යන්නට ඇතැයි අනුමාන කරමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT