– සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේදී
– උසස් පෙළ 12 ශ්‍රේණියේදී
– අවුරුදු 21ට පෙර උපාධියක්
සියලුම ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශ්වයන්ගෙන් ද සහාය ඇතිව සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.
ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
2024 අය වැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 237ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් මට්ටමින් අධ්‍යාපනයට වෙන් කළ රුපියල් බිලියන 280ක් සමඟ මෙවර අය වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 517ක් පමණ වෙන් කර තිබෙනවා.
එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික දියුණුවට විවිධ වැඩසටහන් සකස් කළා. සාමාන්‍ය දරුවන් ඉගෙන ගන්නා පන්ති කාමරවලට ඔවුන් ඇතුළත් කළ හැකි පරිදි අධ්‍යාපන ක්‍රමයත් අප ඉදිරියේදී හඳුන්වා දෙනවා.
බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනයෙන් ගොඩනැඟුණු මානව සම්පතක්. මෙරට පාසල් පද්ධතියේ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍ර හරහා විධිමත් ප්‍රවේශයක් සිසු දරුවන්ට දිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීමට අප පියවර ගනිමින් සිටිනවා.
සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශ්වයන්ගෙන් ද සහාය ඇතිව පියවර ගන්නවා. 1-5 සහ 6-9 මෙන්ම 10-13 ශ්‍රේණි වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ද ලබන වසරේ දී ආරම්භ කරනවා.
එමෙන්ම වයස අවුරුදු 21ට පෙර සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ඉදිරි වසරේ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන්ට පුහුණු අවස්ථා ලබා දීමට ද කටයුතු කරනවා.
වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ගුරු අධ්‍යාපන සේවය, ගුරු උපදේශක සේවා, ගුරු පුරප්පාඩු ඇතුළු අධ්‍යාපන සේවයේ දැනට පවතින සියලුම පුරප්පාඩු ද ලබන වසරේ පාසල් ආරම්භ කිරීමට පෙර පිරවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද ඇමැතිවරයා පැවසීය.