මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්ව සිරදඬුවම් විඳින පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිරකරුවකු බීමත්ව බන්ධනාගාර නිලධාරීන්ට බැණවැදී තර්ජන සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නියෝග කර ඇත. පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ උසස්ම නිලධාරියකුගේ නිල නිවෙසේදී මෙම සිරකරු මත්පැන් පානය කර ඇති බවත් එයින් පසු අදාළ සිරකරුවා බීමතින් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ නිලධාරීන්ට බැණවදිමින් තර්ජන එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. සිරකරුවකු බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන බවට වාර්තා වීමත් සමඟ දුම්බර බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් පල්ලෙකැලේ බන්ධනාගාරයට කඩිනමින් පැමිණ ඇති අතර එහිදී බීමත්ව සිටි මෙම සිරකරු දුම්බර බන්ධනාගාරයට රැගෙන ගොස් පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර පරීක්ෂා කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියමයෙන් දුම්බර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම විශේෂ විමර්ශනයේදී සිද්ධිය වූ 05 වැනිදාට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂාවක් මෙන්ම බීමත්ව සිටි අදාළ සිරකරුගෙන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට සිදු කර තිබේ. සිරකරුට මත්පැන් දුන් උසස් නිලධාරියා සම්බන්ධයෙන් වන චෝදනා තහවුරු වුවහොත් ඔහුට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේනතුව මඟින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.