අනුරාධපුර නගරයේ රාත්‍රී විශේෂ ආරක්ෂක රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පරුෂ වචන කියමින් නිල ඇඳුමෙන් අල්ලා පහරදීමට තැත් කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අනුරාධපුර පාර, මිහින්තලේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු සහ අනුරාධපුර තුන්වැනි පියවරේ පදිංචි 42 හැවිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නියෝගයක් පරිදි ඉකුත්දා (05) අනුරාධපුර නගරයේ රාත්‍රී විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබී ඇත. එම මෙහෙයුමට සම්බන්ධව මයිලගස්හන්දිය ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
ආරක්ෂිත හිස් වැසුම් නැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට නතර කරන ලෙසට එම නිලධාරීන් සංඥා කිරීමේදී එම යතුරුපැදිය නොනවත්වා, වේගය වැඩි කර ධාවනය කර ඇත. යතුරුපැදිය ගමන් කර ඇත්තේ මයිලගස්හන්දියේ පිහිටි හෝටලයක් වෙත බව පොලිසිය සඳහන් කළේය.
අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය සොයා ඒ අතර සිටි සැරයන්වරයකු හෝටලය තුළට ප්‍රථමයෙන් ගොස් ඇත. එහිදී හෝටලය තුළ මත්පැන් පානය කරමින් රැඳී සිටි පුද්ගලයන් හත්දෙනකු පමණ පරුෂ වචනයෙන් සැරයන්වරයාට බැණ වැදී කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය සඳහන් කළේය. එහිදී සැරයන්වරයා සිය යතුරුපැදියේ නළාව හඬවා එම ස්ථානයට මයිලගස්හන්දියේ රැඳී සිටි නිලධාරීන් කැඳවා තිබේ.
එම සිදුවීම අතරතුරදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා එම ස්ථානයෙන් මග හැර ගොස් ඇත. ඒ යතුරුපැදිය අතහැර දමාය. ඒ අනුව ඔවුන් පැමිණි යතුරුපැදිය සිය භාරයට ගැනීමට යෑමේදී එහි සිටි දෙදෙනකු කණ්ඩායම් භාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි යන නිලධාරියාගේ නිල ඇඳුමෙන් අල්ලා පහරදීමට ගිය බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ දැරූ එක් පුද්ගලයකු වන්නේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා බව පොලිසිය කියයි.
හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී එහි සිටි කණ්ඩායමක් එම ස්ථානයෙන් පලා ගොස් ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.