ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් ඊයේ (07) එළිදක්වනු ලැබීය.
තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති National Symposium on Tea -2023 සම්මන්ත්‍රණයේදී මෙම පර්යේෂණ පත්‍රිකා එළිදැක්විය.
තේ පර්යේෂණ ආයතනය මඟින් සංවිධානය කරන ලද මෙම ජාතික සම්මන්ත්‍රණයේදී එළිදැක්වුණු මෙම පර්යේෂණ පත්‍රිකා 34, තේ කර්මාන්තය ආශ්‍රිතව 2023 වසරේ පැවති ගැටලු ඉලක්ක කරමින් සකස් කර ඇත.
මෙම පර්යේෂණ පත්‍රිකා තේ පර්යේෂණ ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ සිදු කර ඇත.
මේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ එම පර්යේෂණ මඟින් මෙරට තේ වගාව මෙන්ම එම කර්මාන්තය උසස් තත්ත්වයකට පත් කරලීම සඳහා පියවර ගත යුතුව ඇති බවයි. යහපත් කෘෂිකාර්මික පුරුදු මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ඇතුළත් විය යුතු කාලය එළඹ ඇතැයි ද අමරවීර මහතා කීය.
ලෝක තේ වෙළෙඳ පොළේ දෙවැනි විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාව වන අතර Ceylon Tea සන්නාමය නැවතත් ලෝක වෙළෙඳ පොළ තුළ ජනප්‍රිය කරවීම සඳහා තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තේ පර්යේෂණ ආයතනයේ සභාපති චින්තක ලොකුහෙට්ටි මහත්වරු ද සහභාගි වූහ.