Home » නිලන්ත ජයවර්ධන හේමසිරිට-පූජිත්ට-රවීට කලින් දැනුම් දීලා
සහරාන් ප්‍රහාරය ගැන

නිලන්ත ජයවර්ධන හේමසිරිට-පූජිත්ට-රවීට කලින් දැනුම් දීලා

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

2019 අප්‍රේල් 21 දා ප්‍රහාරය ගැනත් 16 දා අත්හදා බැලීම ගැනත් පණිවිඩයේ සඳහන්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමක් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 2019 වසරේ අප්‍රේල් මස 20 වැනිදා ආර­්ක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න යන පිරිසට වට්ස්ඇප් පණිවිඩයකින් දැනුවත් කර තිබෙන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

2019 අප්‍රේල් මස 21 වැනිදා හෝ ඊට පෙර ඕනෑම වෙලාවකදී එම ප්‍රහාරය එල්ල කිරීමේ සූදානමක් පවතින බවත් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එම මස 16 වැනිදා තාලංකුඩාහිදී අත්හදා බැලීමක් කර තිබෙන බවත් එම පණිවුඩයේ සඳහන් වූ බවත් ඇමැතිවරයා පැවසීය.

සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇමැති ටිරාන් අලස් වෙනුවෙන් පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.එමෙන්ම 2019 අප්‍රේල් මස 16 වැනිදා තාලංකුඩා යතුරුපැදිය පුපුරවා හැරීම, සහරාන්ගේ ජාලයට සම්බන්ධ තැනැත්තන් යම් පිපිරීමක් සිදු කිරීමට පෙර කළ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමක් බවට හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් මස 18 වැනිදා පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම එම යතුරුපැදිය පුපුරවා හැරීම සම්බන්ධ වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමඟ සම්බන්ධතා පවත්වන විදේශීය දුරකතන අංක සහිතව වැඩිදුර වාර්තාවක් ද බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා අප්‍රේල් මස 19 වැනිදා එම නිලධාරීන් දෙදෙනාව ලිඛිතව දැනුවත් කර තිබෙන බවත් එම පිළිතුරේ සඳහන් වේ.

එම වසරේම අප්‍රේල් මස 7 වැනිදා බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂවරයා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලිපියක් යවමින් විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරක් දන්වා ඒ සම්බන්ධයෙන් උපදෙස් පතා ඇති බව ද සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා සඳහන් කළේය.

විදේශ බුද්ධි ආයතනයකින් ලද තොරතුර විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අප්‍රේල් මස 9 වැනි දාතමින් යුතු ලිපියකින් හිටපු අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT