ලෝකයේ රටවල තානාපති කාර්යාලවලට තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් පත් කිරීමේදී වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා නොලැබූ පුද්ගලයන් පත් කිරීම ඉතාම වැදගත් බව සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.
විදේශ කටයුතු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
වංචා දූෂණවලට පැමිණිලි තිබෙන නිලධාරීන් පත් කිරීම රටට අපකීර්තියක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
තානාපතිවරුන් පත් කිරීමේදී හොරු පත් නොකළ යුතුයි. එසේ කරන්නේ නම් එය රටට හොඳ නැහැ. පැන්ඩෝරා පේපර්ස්වලට මොකද වුණේ කියලා අහන්නත් අපි කැමතියි. විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ නැහැ. රටට අපකීර්තියක් ලබාදුන් ලෝකයේ ප්‍රධාන රටවල් දෙකට පත් කළ තානාපතිවරුන් ගැන අපි ප්‍රශ්න කරනවා. උදයංග වීරතුංග තානාපතිවරයා සොරකම්වලට හසු වූවෙක්. හොරෙක් පමණක් නොව ඔහු ජාත්‍යන්තර අවි ජාවාරම්කාරයෙක් ලෙසත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ස්වීඩනය හා කෙන්යාවල තිබෙන අපේ රජයට අයත් ගොඩනැඟිලි භාවිත නොකර වෙනත් නිවාස භාවිත කරමින් කුලී මුදල් ගෙවා තිබෙන බවට වාර්තා තිබෙනවා. අපේ රජයට අයත් නිවාස ඒ රටවල තිබියදී ඒවා භාවිත නොකර වෙනත් නිවාස කුලියට ගෙන මුදල් ගෙව්වේ ඇයි කියලා අහන්න අපි කැමතියි.
යුද්ධය අවසන් කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මුහුණ දීමට කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සහයෝගය අපිට නැති වී තිබෙනවා. බටහිර රටවල් දේශපාලන වුවමනා මත කටයුතු කරනවා.