ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෑගල්ල ප්‍රදේශයේ ගබඩාවකින් හොර රහසේ පිට කර විකුණා තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ජල නළ බට 192ක් බියගම පොලිසිය විසින් පෙරේදා (06) පස්වරුවේ බියගම, සියඹලාපේ හන්දිය ප්‍රදේශයේ හිස් ඉඩමක දමා තිබී සොයා ගෙන ඇත.
මේ සම්බන්ධව සැකකරුවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.
මේ පස්දෙනා අතර එම ගබඩාවේ ගබඩා පාලකවරයා හා පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයෙක් ද සිටිති.
මේ අතර සොරකම් කරන ලද ජල නළ බට මිල දී ගත් බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර, ඔහු ද අත්අඩංගුවට ගැනීමට දැන් කටයුතු කර ගෙන යයි.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ ජල නළ බට බියගම, සියඹලාපේ හන්දිය ප්‍රදේශයේ හිස් ඉඩමක තිබෙන බවට බියගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ මහතා ඒ පිළිබඳව විමර්ශනය කොට මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මේ ජල නළ බට කෑගල්ල ප්‍රදේශයේ ගබඩාවකින් හොර රහසේ පිට කර පුද්ගලික කුලී ලොරි රථයකින් ප්‍රවාහනය කර තිබේ. දැනට සොයාගත් එම ජල නළ බටවලින් 100ක් කෑගල්ල ගබඩාවෙන් පිට කළ ඒවා වන අතර, ඉතිරි ජල නළ බට 92 වෙනත් ස්ථානයකින් පිට කළ ඒවා වන බවට හෙළි වී ඇත.
මේ කෝටි දෙකක් පමණ වටිනා ජල නළ බට ඔවුන් විකුණා තිබෙන්නේ රුපියල් ලක්ෂ 15කට වන බව පවසයි. අත්අඩංගුවට ගන්නා ලද ගබඩා පාලකවරයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ද, ඉංජිනේරුවරයා පානදුර ප්‍රදේශයේද සෙසු පුද්ගලයින් තිදෙනා කිරුල, නුගේගොඩ හා හැඳල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42ත් 58ත් අතර වියේ පසුවන්නන් ද වෙති.
මොවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ.