Home » වැරදි කළ නාගොල්ලාගම ‍ඕඅයිසී එතැනමයි

වැරදි කළ නාගොල්ලාගම ‍ඕඅයිසී එතැනමයි

වැරදි කියපු පොලිස් කාන්තාවන් 11කට මාරු

by mahesh
December 8, 2023 1:00 am 0 comment

පොල්පිතිගම - නන්දන කැලේගම

ස්ථානාධිපතිවරයෙකුගෙන් දිගින් දිගටම සිදුවෙන අතවර හා හිරිහැර සම්බන්ධව කරන ලද පැමිණිලිවලට අනුව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසට වැරදි කළ අය එතැනම රඳවා ප්‍රකාශ දුන් හා නොදුන් සියලුම පොලිස් කාන්තාවන්ට හිටි හැටියේ ස්ථාන මාරුවීම් ලබා දුන් අරුම පුදුම කතාවක් පිළිබඳව මහව නාගොල්ලාගම පොලිස් ස්ථානයෙන් අසන්නට ලැබුණි.

නිකවැරටිය කොට්ඨාසය යටතේ පාලනය වෙන අලුතින් ඉදිවු මෙම පොලිස් ස්ථානයේ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතාවයන් සම්බන්ධව පොලිස් පොඩ්ඩෝ මෙසේ ද අදහස් දැක්වූහ.

‘හිටපු ජානාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට හිටපු මොහු දැන් මෙහි ස්ථානාධිපතිවරයා ලෙසට කටයුතු කරනවා. ඔහු පොලිස් පරීක්ෂකවරයෙක්. දේශපාලන බලපෑම් නිසා තමයි ඔහු ඕ.අයි.සී. වුණේ. ඔහුට එරෙහිව ඉහළට නිර්ණාමික පෙත්සමක් ගියා. ඒ ගැන පරීක්ෂණවලට උසස් පොලිස් ලොක්කෝ ආවා. ජීප් රථය භාවිත කිරීමේදී සිදු කරන වැරදි. ඒවාට බිල් ඉදිරිපත් කිරීමේදි කර ඇති වැරදි ගැන පරීක්ෂණ දියත් වුණා. ප්‍රදේශයේ පන්සල්වල සංඝරත්නය පවා මොහුට විරුද්ධයි. ඒ අතරේ

මෙම අනංගයාගෙන් පොලිස් කාන්තාවන්ට එල්ලවෙන අතවර, හිරිහැර, තාඩන පීඩන ගැන ද අනාවරණය වුණා.

අවසානයේ සියල්ල පසෙක තබා පොලිස් කාන්තාවන්ට වෙන අක්‍රමිකතාවයන් ගැන උසස් පොලිස් නිලධාරින් වෙත කැඳවා පරීක්ෂණ දියත් වුණා. අපි හිතුවා ඕ.අයි.සී.ට මාරුවක් එයි කියලා. අවසානයේ වුණේ විද්දේ හාවට වැදුණේ පඳුරට වාගේ කතාවක් තමයි. වැරැදිකරු එතැනමයි. ප්‍රකාශ දුන්න හා නොදුන් සියල්ලෝම පිටතට මාරු කෙරුවා. ගමේ හිටපු ඔවුන් දැන් කිලෝ මීටර් 50, 60 දුර කතර ගෙවාගෙන ඈතට යාමෙන් අපා දුක් විඳිනවා.

දේශපාලන බලපෑම් නිසා ඒවා එහෙම යටපත් වෙන්න දෙන්න බැහැ.’

නැඟෙන චෝදනා සම්බන්ධව

නාගොල්ලාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද අපි විමසීමක් කළෙමු.

‘මේක අලුතින් දාපු පොලිසියක්. එහි ඇඳුම් මාරු කරන්න, ළිඳෙන් නාන්න, විවේක ගන්න පවා අඩුපාඩු එමටයි. ඒ අඩුපාඩු හින්දයි කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තට මාරු වෙලා යන්නේ. ඒ මිසක් මෙතැන කිසිදු වරදක් වෙලා නැහැ. නමුත් වැඩ භාර ගන්න එන්න ඉන්නා ස්ථානාධිපතිවරුන් තමයි මේවාට විරුද්ධව මට මඩ ගහන්නේ’ යනුවෙන් ඔහු කීවේය.

එහෙත් ඒ සම්බන්ධව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ මෙවැන්නකි.

‘ලද පැමිණිලිවලට අනුව සිද්ධීන් ගැන පරීක්ෂණ දියත් වුණා. ඒ අයගෙන් ප්‍රකාශත් සටහන් කර ගත්තා. ඊට පස්සේ තමයි වැරදි කරනා අයෙක් ගාව වැරදි නොකරන අයට ඉන්න බැහැ කියපු අයගේම ඉල්ලීමට අනුව ඔවුන්ගේම ආරක්ෂාවට ඔවුන් මෙලෙසට මාරු කෙරුවේ. වැරදි කරනා අයත් එක්ක ඉන්න වෙර දරනා අය රැඳෙන්න කැමැති වුණාට බහුතරය පිටතට

ගියේ සිය කැමැත්තෙන්ම තමයි.’.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා.

පොලිස් ස්ථානයේ සිදු වී තිබෙන අක්‍රමිකතා ගැන නම් අහන්න ලැබුණා. නමුත් ඒ සම්බන්ධව පොලිස් කාන්තාවන් සියලු දෙනාම ස්ථාන මාරු කර යැව්වා කියන කතාව මගේ මතකයේ හැටියට මං දන්නේ නැහැ. ඒ ගැන සොයා බලන්නම් යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT