වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක් මහ දවල් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් රැගෙන ගොස් සිටි සොරෙකු ඊයේ (07) උදෑසන අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි.
වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රියක ආරක්ෂක පෙට්ටියක් පෙරේදා (06) දහවල් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. බී. නිලන්ත මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා ගෙන යද්දී ලද තොරතුරකට සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මොහු විසින් ත්‍රිරෝද රථයේ ආරක්ෂක පෙට්ටියක් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් ලබා ගත් බවට හෙළි කර ඇත.
ඒ අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සොරා ගෙන ගොස් තිබූ බැංකු කාඩ් පත හා එයින් ලබා ගෙන තිබූ අරක්කු බෝතල් තුන ද සොයා ගත් බවද පොලීසිය කීය.
මොහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි විවාහකයෙකු බවද පරීක්ෂණවල දී හෙළි වී ඇත.
මොහු තවත් මෙවැනි සොරකම් සිදු කොට ඇති බවට සැකකෙරෙන හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද පොලීසිය කියා සිටියේය.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ මෙහෙය වීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. බී. නිලන්ත, පොලිස් පරීක්ෂක අතුල මැදවැව හා උප පොලිස් පරීක්ෂක විදුරංග යන මහත්වරුන් ප්‍රමූඛ පොලිස් නිලධාරීහු පිරිසක් වැටලීමට එක් වූහ.