Sunday, May 11, 2025
Home » පසුගිය ශූරයන්ට පොලිස් ප්‍රහාරයක්

පසුගිය ශූරයන්ට පොලිස් ප්‍රහාරයක්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මංචි අනුග්‍රහයෙන් සංවිධාන කරන 72 වැනි ජාතික වොලිබෝල් තරගාවලියේ පිරිමි සුපර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේ පැවති පළමු තරගයෙන් පසුගිය ශූරයන් වූ ගුවන් හමුදාවට එරෙහිව වට 3-1ක ජයක් හිමි කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

මේ තරගයේ පළමු වටය පහසුවෙන් ජය ගැනීමට පොලිසිය සමත් වූයේ 25-12ක් ලෙසිනි. කෙසේ වෙතත් තියුණු තරගයකින් අනතුරුව දෙවැනි වටය 25-20ක් ලෙස ගුවන් හමුදාව ජයගත් අතර, තෙවැනි සහ සිවුවැනි වටයන් පිළිවෙළින් 25-22ක් සහ 25-18ක් ලෙස ජය ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.

දෙවැනි තරගයේදී බෙස්ට් පැසිපික් පිලට එරෙහිව වට 3-0ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් වූ අතර, එහි ලකුණු තත්ත්වය වූයේ 25-14, 25-19ක් සහ 25-20කි.

ඊයේ පැවති තෙවැනි තරගයේදී විදුලිබල මණ්ඩල පිල හමුවේ ඕසන් ලංකා කණ්ඩායම 3-1කින් පරාජයට පත් විය. එහි පළමු වටය 25-12ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ඕෂන් පිල සමත් වුවද ඉතිරි වට 3 තුළ ආධිපත්‍ය පැතිරවීමට විදුලිබල ක්‍රීඩකයෝ සමත් වූයේ 25-19, 25-23ක් සහ 25-21ක් ලෙසිනි.

වරාය අධිකාරිය සහ නාවික හමුදාව අතර ඊයේ පස්වරුවේ පැවති සිවුවැනි තරගය වට 3-0කින් ජය ගැනීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ. එහි ලකුණු තත්ත්වය 25-19, 25-22ක් සහ 25-21ක් ලෙස සටහන් විය.

තරගාවලියේ දෙවැනි දිනය වන අද විදුලිබල මණ්ඩලය – නාවික හමුදාව (පෙ.ව. 9.00), ඕසන් ලංකා – වරාය අධිකාරිය (පෙ.ව. 11.30), ගුවන් හමුදාව – බෙස්ට් පැසිපික් (ප.ව. 2.00) සහ පොලිසිය – යුද හමුදාව (ප.ව. 4.00) අතර තරග පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT