ශ්‍රී ලංකා පාපන්දු පිල ලබන වසරේදී ජාත්‍යන්තර පාපන්දු තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබියදී රටවල් 7ක සහභාගීත්වයෙන් දකුණු ආසියානු 20න් පහළ පාපන්දු තරගාවලිය කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත. එමෙන්ම රටවල් 4ක් සහභාගි වන සිවුකොන් පාපන්දු තරගාවලියක් ලබන වසරේ ජුනි මාසයේදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, බොහෝ කලකට පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වැඩකටයුතු ඇතුළත් කොට කැලැන්ඩරයක් එළි දැක්වීමට ද කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා සම්භවයක් ඇති ද්විත්ව පුරවැසි විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලට සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති අතර, එයින් හොඳම ක්‍රීඩකයන් 43ක් හඳුනාගෙන ඇතැයි පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. එයින් විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයන් 15ක් ශ්‍රී ලංකා පාපන්දු පිලට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව ඒ මහතා පෙරේදා (6) පාපන්දු නිවහනේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදේශක ස්කොට්ලන්ත ජාතික ස්ටුවර්ට් රේගන් මහතා ද සහභාගිවූ මේ මාධ්‍ය හමුවේදී පාපන්දු සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ට අසාධාරණයක් නොවන සේ ශ්‍රී ලංකා සම්භවයක් ඇති ද්විත්ව පුරවැසි විදෙස් ක්‍රීඩකයන් කණ්ඩායමට බඳවා ගන්න බවයි.
“අපේ දේශීය තරගාවලි කඩිනමින් පැවැත්වීමට අපහසු ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් මතුව තිබෙනවා. පසුගිය කාලයේ පාපන්දු තහනමක් තිබූ නිසා ඇතැම් ක්‍රීඩා සමාජවල උනන්දුව අඩුවී තිබුණා. ඒ නිසා ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් ලියාපදිංචිය අලුතින් ආරම්භ කළ යුතු වෙනවා. කොහොම වුනත් ලබන වසරේ මැයි සිට සියලු තරගාවලි ආරම්භ කොට පෙබරවාරි දක්වා දේශීය පාපන්දු ක්‍රීඩාව ශක්තිමත් කරනවා. ලබන වසරේ දකුණු ආසියානු 20න් පහළ පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා හොඳ කණ්ඩායමක් බිහිකිරීම අපේ සැලසුමයි. පාපන්දු ලීග් 55ක 20න් පහළ තරගාවලි පවත්වා දිස්ත්‍රික් කණ්ඩායම් 25කින් දක්ෂයන් තෝරා ගැනීම සැලසුමයි” ජස්වර් මහතා පැවසීය.
පාපන්දු ප්‍රධාන විධායක හා තාක්ෂණික අධ්‍යක්ෂ යන තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවන බවත්, සුදුසුකම් ඇති විදෙස් පුද්ගලයන් දෙදෙනකු ඒ සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් පාපන්දු සභාපතිවරයා පැවසීය. පාපන්දු ලීග්වලට මුදල් දීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන අතර, පාපන්දු සම්මේලන කැලැන්ඩරය අනුව නියමිත පාපන්දු තරග පවත්වන ලීග්වලට පමණක් මූල්‍ය ආධාර ලබාදෙන බව ඒ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීම උදෙසා තෝරා ගත් පාසල් සඳහා පාපන්දු 13500ක් ලබා දීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩාව නංවාලීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදීමට ලක් වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම පාපන්දු ප්‍රදානය ශ්‍රී ලංකාවට සිදු කිරීමට නියමිත බවද ජස්වර් උමර් මහතා පැවසීය.