පසුගිය මැතිවරණවල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට මේ වන විට වෙනත් කණ්ඩායම් සමඟ එක්ව සිටින ඕනෑම අයකු සත්‍යය අවබෝධ කරගෙන තම පක්ෂය හා එක් වන්නේ නම් සහෝදරත්වයේ දෑත දිගු කිරීමට කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
මේ වන විට වෙනත් කණ්ඩායම් හා දේශපාලන පක්ෂ සමඟ එක්වී සිටින සියලු දෙනා පසුගිය මැතිවරණවලදී ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ වන අතර, ප්‍රචාරක කටයුතු සිදු කළේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බව පෙන්වාදෙන ඒ මහතා, පසුගිය කාලය පුරාම මේ රටේ ජනතාව එකතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞරුෂය සමඟ පමණක් නොව ඒ මහතා ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙළ මත පදනම්ව බව ද පෙන්වාදෙයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නීතිඥ සාගර කාරියවසම් මහතා,
අපි මේ පක්ෂය ආරම්භ කළේ යම්කිසි ජාතික වැඩපිළිවෙළක් සමඟයි. ඒ වැඩපිළිවෙළට එකඟවන ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක අපි සමඟ එකතු වෙන්න පුළුවන්. ඇතැම්විට ළමුන් ගෙදරින් තරහා වෙලා යනවා. නමුත් ඔවුන් ටික දවසකින් තමන් කළ වැරැද්ද තේරුම් ගත්තාම මාපියන් ළඟට එනවා. ඒ වගේම අපේ පක්ෂයෙන් ගිය ඕනෑම අයකු හරි දේ තේරුම් ගත්තදාට තමන් කළ දේ නොවෙයි මේ රටේ ජනතාවට අවශ්‍ය කියා අපි ළඟට එන්නේ නම් සහෝදරාත්මක දෑත දිගු කරන්න කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ. විවිධ කණ්ඩායම් අපෙන් ඉවත්ව ගියා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ යම්කිසි ඔළුගෙඩි ප්‍රමාණයක් ද ඉවත්කර ගන්න පුළුවන් වුණා. නමුත් ඒ ඔළුගෙඩි ප්‍රමාණය ඉවත්කර ගත්තාට රටේ ජනතාව තමන් සමඟ එකතු කර ගන්න ඔවුන්ට හැකියාව ලැබී නැහැ.
මේ කිසිවෙකුට අද වන විට ජනතාව එකතු කර ගැනීමේ නොහැකියාව තිබෙනවා. ඔවුන්ට රැස්වීමක් පවත්වන්න හෝ හැකියාවක් නැහැ. එම පිරිසෙන් වැඩි දෙනෙක් අපි සමඟ එක්වෙයි කියා විශ්වාසයක් තිබෙනවා. මේ වන විට කරුණු වටහා ගනිමින් ඉන්නවා. ඉතිරි කිහිප දෙනාට වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වෙන්න සිදු වෙනවා. ඒ හැර ජනතා මතයක් නියෝජනය කරන්න හැකියාවක් නැහැ. ජනතාව ඉන්නේ අපේ වැඩපිළිවෙළ සමඟයි. අපෙන් ඉවත්ව ගොස් සිටින සියලු දෙනා පසුගිය මැතිවරණවල දී ඡන්ද පෝස්ටරය පාවිච්චි කළෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය සමඟයි. පැවැති අභියෝග හමුවේ රටේ ප්‍රගතිශීලී ජනතාව සමඟ එක්ව මේ දේශපාලන පක්ෂය පිහිටුවන්න තීරණය කළා. මේ දක්වා ඉතාම ශක්තිමත් ගමනක් පැමිණ තිබෙනවා.
2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය, 2019 වසරේ ජනාධිපතිවරණය සහ 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයගන්න අපේ පක්ෂයට හැකියාව ලැබුණා. ඒ අනුව අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපරාජිත දේශපාලන පක්ෂය බවට පත්ව තිබෙනවා. ඒ අනුව ආඩම්බරයෙන් අපි එළැඹෙන 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පක්ෂයේ ජාතික මහා සම්මේලනය පවත්වනවා යැයි පැවසීය.