ඉපදී සතියක් ඉක්ම යන්නට පෙර තම නිවුන් දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ තරුණ මවක සහ රුපියල් 25,000 බැගින් මුදල් ලබා දී දරුවන් මිලදී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනෙකු ද ඊයේ (07) උදේ අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
සැකකාර නිවුන් දරුවන්ගේ තරුණ මව සහ ඇගේ එක් දරුවෙක් මිලදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිලදී ගත් කාන්තාව කැලණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රාගම ප්‍රදේශයේ නිවෙසක මෙෙහකාර වෘත්තියේ යෙදෙමින් එහි නවාතැන් ගෙන සිටි අදාළ මව මීට සතියකට ඉහත බොරැල්ල කාසල් රෝහලේදී නිවුන් දරු ප්‍රසූතියක් සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඇයගේ පළමු විවාහයෙන් වෙන්ව ඇති ඇයට එම විවාහයෙන් තවත් දරු දෙදෙනෙකු සිටින බවත් ඔවුන් ඇයගේ මවගේ භාරයේ සිටින බවද මෙහිදී හෙළිව ඇත. ඇය විසින් අලෙවි කරන ලද නිවුන් දරු දෙදෙනාගේ පියා පිළිබඳව ඇය නිසි තොරතුරක් මෙතෙක් ලබා දී නැති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති අදාළ මව සහ පොලිස් භාරයේ පසුවන නිවුන් දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ වනවිට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
සැකකාරියන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.