මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා දිවුල් මිශ්‍ර කර නව චොක්ලට් වර්ගයක් නිෂ්පාදනය කර තිබේ.
උපාධිය නිම කිරීමෙන් පසු ඇඟලුම් ක්ෂේත්රයේ රැකියාවක නිරතව සිටියදී කොවිඩ් හමුවේ ඇති වූ ආර්ථික අර්බුද සමඟ එම ක්ෂේත්රයෙන් ඉවත්ව පලතුරු විජලනය කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් පසු මෙම දිවුල් මිශ්‍ර චෝකලට් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. නව දිවුල් චොකලට් නිෂ්පාදනය සඳහා ප්‍රමිති සහතිකය මෙන්ම පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සුචින්ද්‍ර මහතා කීවේය.
මේ වන විට අඹ, රඹුටන්, කොමඩු, කාමරන්කා, වරකා, කජු පුහුලන් වැනි පලතුරු විජලනය කර ජපානයට අපනයනය කරන සචින්ද්‍ර දිවුල් මිශ්‍ර නව චොකලට් නිෂ්පාදනය දේශීය වෙළෙඳ පොළට මෙන්ම විදේශීය වෙළෙඳ පොළට ද යොමු කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
‘විලාසිතාකරණය පිළිබඳ උපාධිය ලබා ගැනීමෙන් පසු මම දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තායතන කිහිපයක සේවය කළා. පසුව 2022 වසරේදී මම රැකියාවෙන් ඉවත්ව මගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ආර්ථික අර්බුදය හමුවේ අපට ජීවිතය ඉදිරියට ගෙන යෑමට විකල්ප සොයා ගැනීමට සිදු වුණා. මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස සැලකෙන ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස කියන ත්‍රිත්වය අතුරින් ඒ වන විට මම නිරතව සිටියේ ඇඟලුම් ක්ෂේත්රයේ. ඉන් ඉවත්ව නිවාස ක්ෂේත්රයට යනවා නම් ලොකු මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒ තරම් මුදලක් නොතිබූ නිසාත් ආහාර සඳහා කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් සැලකිය යුතු ඉල්ලුමක් තිබෙන නිසාත් මම ආහාර විජලනය කිරීමේ ක්ෂේත්රයට යොමු වුණා. මුලින් අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. දිවුල් වාරයේදී අපේ රටේ වියළි කලාපයට අයත් ප්‍රදේශවල ගස් යට දිවුල් කුණු වෙනවා. මම කල්පනා කළා දිවුල්වලින් ඇයි චොකලට් එකක් නිෂ්පාදනය කරන්න බැරි කියලා. මුලින් දිවුල් විජලනය කිරීම මඟින් පවුඩර් එකක් හදා ගත්තා. කොකෝවා හා යම් අනුපාතයකට මිශ්‍ර කිරීම මඟින් ඉතා සාර්ථකව දිවුල් චොකලට් නිෂ්පාදනය කරන්න හැකි වුණා. ඉදිරියේදී තවත් නව නිෂ්පාදන කිහිපයක් බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ සුචී හෝල්ඩින්ස් නිර්මාතෘ සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා පවසයි.