කොළඹ සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහල සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ කිහිපයක සහ දකුණු පළාතේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් අද සවස දිවයින පුරා හදිසි විදුලිය බිද වැටිමක් සිදුවිය. විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ අධි වෝල්ටීය රැහැන් පද්ධති 2ක සිදුවූ හදිසි බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි. මෙලෙස විදුලිය බිඳ වැටී ඇත්තේ එම අධි වෝල්ටීයතා රැහැන් පද්ධති 2ට සිදුවූ අකුණු සැර වැදීමකින් බවට විදුලිබල මණ්ඩලය සැක පළ කරයි.
පද්ධතිය යථා තත්වයට පත් කිරිම සදහා මේ වන විට විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කඩිනමින් කටයුතු සිදු කරමින් සිටින අතර එය යථා තත්වයට පත් කිරිමට තව පැය 02 කට ආසන්න කාලයක් ගතවනු ඇති බවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.