Saturday, May 10, 2025
Home » SLT – MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ 2024 දින දර්ශනය එළිදක්වයි

SLT – MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ 2024 දින දර්ශනය එළිදක්වයි

by Gayan Abeykoon
December 9, 2023 1:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වීය. මෙමඟින් රටේ ස්වභාවික උරුමයක්වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.

ලොව පුරාම කඩොලාන පද්ධති මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ SLT – MOBITELහි 2024 දින දර්ශනය, ජෛව විවිධත්වය සුරැකීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති මඟින් ඉටුවන මෙහෙවර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම තුළින් ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේ ය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත්කරන පුරෝගාමියෙකු වශයෙන්, අපගේ ව්‍යාපාරික ඉලක්කවලින් ඔබ්බට විහිදෙන වගකීමක් අප සතු බව අප විශ්වාස කරනවා. තිරසරබව අවධාරණය කරමින් ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකිරීම සඳහා අපගේ 2024 දින දර්ශනයට කඩොලාන පරිසර පද්ධති පිළිබඳව තොරතුරු ඇතුළත් කිරීමට අප තීරණය කළා. කඩොලාන පරිසර පද්ධතිය බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගයන් මෙන්ම පරිසර සමතුලිතබව ආරක්ෂාකර ගැනීමට විශාල දායකත්වයක් දක්වන වැදගත් පරිසර පද්ධතියක්. අරමුණු තුළින් පන්නරය ලබන ජාතික සන්නාමයක් වශයෙන්, පරිසරය සුරැකීමේ වැදගත්කම පෙන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් ස්වාභාවික අන්තර්සම්බධිත පද්ධති ආරක්ෂා කිරීමට අප කැප වී සිටිනවා.”

මෙම දින දර්ශනයට ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසරයන්හි එකිනෙකට වෙනස් වූ අංග නිරූපණය කරන අලංකාර චිත්‍ර 13ක් ඇතුළත් වී තිබේ. පුලස්ති එදිරිවීර, පාරමී විද්‍යාරත්න සහ පියුමි මහේෂිකා යන චිත්‍ර ශිල්පීන් විසින් කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය සහ විවිධත්වය තම සිතුවම් තුළින් මැනැවින් නිරූපණයකර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සම්පත් දායකත්වය යටතේ මෙම දින දර්ශනය සකස් කරන ලදි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධතිය සහ ජීවනෝපාය ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව කඩොලාන පද්ධති සංරක්ෂණය කිරීමටත්, ඒවා නැවත ස්ථාපිත කිරීමටත්, ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් සාර්ථක පියවර රැසක් ගෙන තිබෙනවා. කෙසේ නමුත් අප මේ ගනුදෙනු කරන්නේ, දශක ගණනාවක් තිස්සේ නොසලකා හරිනලද මෙම විනාශ වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සමඟයි. එම නිසා, තත්ත්වය වෙනස් කිරීමට සැම දෙනාගේම සැලකිල්ල අත්‍යවශ්‍ය වී තිබෙනවා.අපේ රටේ මෙම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට නම් එය අප අනිවාර්යයෙන්ම කළ යුතුයි.” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවසුවා ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT