ලෝකයේ එතෙක් ආ මානව රටාව වෙනස් වන්නේ, ධනවාදය ඇතිවීමත් සමඟය. ධනවාදයේ බිහිවීම සම්බන්ධයෙන් වූ විශිෂ්ටතම පැහැදිලි කිරීම සිදු කරන්නේ කාල් මාක්ස් යැයි අඩු මිලට රතු පොත් කියවූ අයෙක් සිතති. මාක්ස්වාදීන් නිතරම හංගන නමක් වන මැක්ස් වෙබර්, සිය The Protes tant Ethic and the Spirit of Capitalism යන ග්රන්ථයේදී, ධනවාදය බිහිවීම සිදු වන්නේ ප්රොතෙස්තන්ත්රවාදයේ නැඟීම සමඟ බව සාධනය කර තිබේ. මේ තීරුව අද අවධානයට පාත්‍ර කරන කාරණය සහ ප්‍රොතෙස්තන්ත්‍රවාදය අතර ඍජු සම්බන්ධයක් තිබේ.
පොඩි එකෙකුට ද අවබෝධ කළ හැකි ආකාරයෙන් කියනවා නම් ප්රොතෙස්තන්ත්රවාදින් විසින් නැති භංග කර දමන ලද්දේ ‘අතර මැද්දය’. ගම් මැද්දේ සිටින ගොවියා උදේ හවා කැපවී වවා කියා රැකගෙන, අස්වැන්න ගෙට ගන්නේය. වී සඳහා ලැබෙන සොච්චම අතට ගත් වන, බිත්තර වී, මැහි තෙල් ආදිය සඳහා ගිය වියදම හෝ එහි නැත. ණයකාරයා යනු අපට බැංකුවය. මොනවා හෝ ගේමක් ගසාගෙන, නඩු යන්නේ නැතිව බැංකුව ෂේප් කර ගන්නා හැටි පුරුද්දෙන් අප දන්නේය. වාරිකයක් දෙකක් මිස් වුණාට, ඉතුරු වාරික දමා වැඩේ ගොඩ දමා ගත හැකිය. ගොවියා ණය ගන්නේ ‘පොලියා’ ගෙන්ය. ඒකා එහෙම සහන දෙන්නේ නැත. බොටුවටම කඩා පනින්නේය. ඒ සඳහාම වූ ගෝල බාල හැත්තක් ද ඌ වටා දවස ගෙවමින් සිටිති. මේ පිරිස උකසට තැබූ ඔප්පුව අතට ගෙන ගෙදරට ඇවිත්, බඩු මුට්ටු ටික සමඟ මිනිස්සුද එළියට දමා එහි පදිංචි වන්නාහ. වාරිකයක් දෙකක් මිස් වුණා කියන්නේ පවුලම පාරේය. මේ තත්ත්වය දන්නා හෙයින් වගාවෙන් ණය ගෙවා ගැනීමට ද බැරි වග දැනගත් වන ගොවියා කරන්නේ, වගාවට හානි කරන මැස්සන් වැනසීම සඳහා ගෙනා මැහි තෙල් බෝතලයෙන් කාලක් පමණ දනි පනි ගා කටේ හලා ගැනීමය. කඩෙන් හාල් ගන්න ගිය විට, හාල් මිල දැක්ක සැණින් සියොළඟම සලිත වීම සහ ගොවියා වහබීම යනු, මැද්දේ සිටින එකා වැඩේ වවාගෙන කෑමේ ප්රතිඵලයකි. මැද්දේ සිටින එකා තරමේ හෙණයක් මේ රටේ පමණක් නොව ලෝකයේද බොහෝ තැන්වල ද නැත.
දෙවියන් අතර මැද්දට ද මේ ජාතියේ හෙණයක් පාත් වී තිබුණි. පූජකයා යන තනතුරට වැඳ වැඳ, ඒ තනතුර ශක්තිමත් කිරීමේ ප්‍රතිඵල හොඳටම අත්වින්දේ මධ්‍යතන යුගයේ යුරෝපා ජනතාවය. පූජකයා දෙවියන්ට ද වඩා උඩ ගිය ඒ කාලයේ, ඔහුගේ සරල සුගම ජීවිතය වෙනුවට සියලු පාප එළිපිට ඉටුකරනා ජීවිතය එළි දකින්නට විය. දෙවියන් සමඟ සම්මුඛ විය හැක්කේ, අප තුළින් පමණය යන්න අඥානයාගේ මනසට ඇතුළු කළ කල්හි, ඒ ගොනාගේ, දෙවියා වන්නේ පූජකයාය. ඒවා ප්‍රශ්න කළ නොහැකි දෙය. ඉඳහිට එකෙක් ඕවා අසන්නට ගියහොත් වරිග තහංචියේ සිට හිරේ විලංගුවේ වැටීම දක්වා වන දණ්ඩනයට, ඒ හිතුවක්කාරයා පත්වන්නේය. තමන් කතා කරන්නේ සමස්තය වෙනුවෙන් වුවද ඒ වහල්ලු ද ‘ඔය ජාතියේ නොසන්ඩාලයන්ට හොඳම වැඩේ යැයි කියමින්, තමන් වෙනුවෙන් කතා කළ එකාට පයින් පහරක් හෝ ඇනගෙන යන්නේය.
මේ අනුව පූජකයා යනු විශාල ඉඩම් හිමියෙක්, බරපතල ස්ත්‍රී දූෂකයෙක් ආදී සෑහෙන තරමේ අවුල් බුවෙක් බවට පත්ව සිටියේය. ඕවා හැමදාම කරගෙන යා නොහැකිය. මර්සි දමාගෙන සිටිය හැක්කේ අඩු කාලයකි. ඒවා වැලට පත්තු වූ විට දුවන්නට පාර මදිය.
කැල්වින් සහ ලූතර් එල්ල කළ බුද්ධිමය ප්‍රහාරය හේතුවෙන් දෙවියන් සහ ජනතාව අතරමැද්දේ සිට සෙල්ලම් කළ පූජකයා කැන්සල් වී ගියේය. තමන්ට ඍජුවම දෙවියන් සමඟ සම්මුඛ විය හැකිය යන්න මේ තියරියේ ප්‍රධාන තේමාව විය. පාප්ගේ පාලනයෙන් මිදුණු ක්‍රිස්තු භක්තිකයන් වෙනම පෙළක් සැදුණේය. ඒ කණ්ඩායම සඳහා යෙදුණු වචනය ‘ප්‍රොතෙස්තන්ත්‍ර’ යන්නය.
මේ දවස්වල කපුවන්ගේ කතා අසන සඳ, තවමත් අප සිටින්නේ මධ්‍යතන යුගයේ යුරෝපයේ සිටි වහලුන්ගේ මට්ටමේ බව කැට තබා කිව හැකිය. කපුවා ළඟට සරණ සොයා යන කතුන් වෙත ඒකා වෙනම සාත්තුවක් දෙන්නේය. ‘දියණිය වෙනම ඇතුළට එන්න කියා’ අරහේ, මෙහෙ අතගාමින් ‘අරකි මිරිකි’ පාරක් පළමුව දමන්නේය. දේවාරූඪව කපු තැන සිටින නිසා, පර්මිෂන් ද ලැබෙන්නේය. බස් එකේදී අහිංසකයෙක්, නිකං ඇඟේ ගෑවුනත්, කුඩයේ මිට දිග හරින කාන්තාවෝ කපුවාගේ අත ගෑමට ඉඩදී බලා සිටිති. වැඩේ නිම වන්නේ නැත. දේව කැමැත්ත පරිදි සළු පිළි ද ලිහා දමා, කපුවා ද නිරුවතට බසින්නේය. එවිට වැඩේ පත්තු වී, කපුවා ගමේ එවුන්ගෙන් ද ගුටිකා, පොලිසියෙන් ද කර ඇබගෙන, කූඩුවට යන්නේය.
ගාණක් කඩාගෙන, පොලු තබනවා කියන එක සුලබ ‘කපු වරමකි’. කිල්ල නොඉන්න කපුවෝ රැසක් කපෝතිය. ඕනෑම වැරදුණු දේකට කපුවන් කියන්නේ කිල්ලට අහුවෙලා බවයි. එන වැඩවලින් භාගෙට භාගයක් ඔටෝ හරි යන්නේය. ඒවායේ ලකුණු කපුවාට සහ දේවාලයටය. වැඩේ කෙළවුණොත් කපුවා සැලෙන්නේ නැත. ඒ සඳහා ඊට වඩා ලොකු යන්ත්‍රයක් හෝ පූජාවක් සඳහා, පාර කපා ගන්නේය.
මේ කපු හෙණය සඳහා වග කිව යුත්තේ ජනතාවය. ඕකුන්ට අඳින තරමට මොළය කුඩා නම්, ඒ සඳහා වෙනම ප්‍රතිකාර ගත යුතුය. හතර වටේ කපුවෝ පොඩි පොඩියට ගේම ගසන විට, කතරගම නායක කපු තෙමේ වැඩේ දී ඇත්තේ රන් තැටියකට බව, ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් කියා තිබේ. දෙවියන් ඒ නඩුවේදී ජනතාව පැත්තේ බව දන්නා නිසා, හෙට අනිද්දා වන විට කපුවා සියලු සොමි අතහැර දමා, සැඟවෙනවා ඇත. කතරගමට ලැබෙන දෙයින් රටේ ප්‍රශ්න ටිකක් හෝ විසඳා ගත හැකිය. ඒවා කපුවන් කුදලාගෙන ගෙදර යන බැවින් උන්ගේ ප්‍රශ්න නම් විසඳී අවසන්ව තිබෙනවා ඇත.
තාමත් මේ අවනඩුව ඇත්තේ මුල් අදියරේ බැවින් කපුවාගේ ඉතිරිය මතුවට තබමු.