නවසීලන්තයේ සික් ගුවන්විදුලි නිවේදකයකුට ප්රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව චෝදනා ලැබූ හින්දු විරෝධී කලිස්තාන අන්තවාදීන් තිදෙනකුට වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආගමික උමතුවෙන් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ නවසීලන්ත අධිකරණයක් විසින් මේ තීන්දුව පසුගියදා ලබා දී ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම එවැනි ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් නවසීලන්තයේ සිටින හින්දු ප්‍රජාවට දැනුම් දීමක් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කලිස්තාන ප්‍රචණ්ඩත්වයෙන් තවදුරටත් හින්දු ප්‍රජාව ආරක්ෂා කිරීමට සහ අන්තවාදීන් වැළැක්වීමට මෙම සිරදඬුවම හේතු වනු ඇතැයි නවසීලන්ත අධිකරණය ප්‍රකාශ කළ බව එරට හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය. එම ගුවන්විදුලි නිවේදකයා පසුපස මෝටර් රථ තුනකින් ලුහුබැඳ ගිය කලිස්තාන අන්තවාදීන් අවසානයේ ඔහුට පිහි ඇනුමක් සිදු කර ඇති අතර, ඔහු සිය මෝටර් රථයේ දොරවල් වසා නළාව අඛණ්ඩව නාද කිරීමෙන් අවට ජනතාව රැස් වී ඔහු බේරාගෙන තිබේ.