Home » කුලි­යට ගත් නිවසේ මහා පරි­මාණ කසිප්පු ස්කාගා­ර­යක්

කුලි­යට ගත් නිවසේ මහා පරි­මාණ කසිප්පු ස්කාගා­ර­යක්

සැක­කරු සමඟ උප­ක­රණ බැරල් 12ක ගෝඩා දැලේ

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

බණ්ඩාරගම බිමල් ජයසිංහ

පොල්ගස්ඕවිට සියඹලාගොඩ කුලියට ගත් නිවසක මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් පෙරේදා (07) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. සැකකරු සමඟ බැරල් 12ක පුරවා තිබූ ගෝඩා මිලි ලිටර් තිස් ලක්ෂයකට අධික ප්‍රමාණයක්, පෙරන ලද මත්පැන් ස්ප්‍රීතු තොගයක්,විශාල ප්‍රමාණයේ දඟරයක්,ගෑස් ලිප්,සිලින්ඩර් ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

කහතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවස වටලා කළ පරීක්ෂාවේදී නිවසේ නාන කාමරයේ හා ඊට යාබද කුඩා කාමරයක නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකර ඇති බව නිරීක්ෂණය වී ඇත.මත්පැන් පෙරීම සඳහා යොදාගෙන තිබූ ගෝඩා බැරල්වල මියගිය කැරපොත්තන් සහ හූනන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බව වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් 35000ක මාසික කුලි පදනම මත සැකකරු මේ නිවස ලබාගෙන මත්පැන් පෙරා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ ස්ථානයේ පෙරන ලද මත්පැන් සැකකරුගේ බෑණා සීට්ටු බඩු ප්‍රවාහනය කරන කුඩා රථයක් මගින් දුර බැහැර ප්‍රදේශවලට බෙදාහැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය,සහකාර පොලිස් අධිකාරී එම්. ඩි. ඩි. නිලන්ග මහත්වරුන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ.ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT