පෑලියගොඩ කප්පම් කල්ලියක වෙඩික්කරු ලෙස කටයුතු කළ දසුන් නමැත්තකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්, කප්පම් ඉල්ලීම සඳහා භාවිත කරන ලද ජංගම දුරකතනයක් සහ සිම්පතක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයකින් පැමිණෙමින් සිටියදීය.
කලකට ඉහතදී මාකිලංගමුවේ සංජීව නමැත්තාගේ ගෝලයකු ලෙස කටයුතු කර ඇති මේ සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නිපුණ නමැත්තාගේ ගෝලයකු ලෙස කටයුතු කරන්නෙක් බවට අනාවරණයවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු යම්කිසි අපරාධයක් සඳහා කොළඹට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 33 හැවිරිදි සැකකරු පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.