Home » ඉන්දි­යාවේ අයිටී ශිල්පි­යකු අන්දා ලක්ෂ 235ක් ඇද්ද අපේ අයියා කෙනෙක් ඉන්දි­යා­වේදී මාට්ටු

ඉන්දි­යාවේ අයිටී ශිල්පි­යකු අන්දා ලක්ෂ 235ක් ඇද්ද අපේ අයියා කෙනෙක් ඉන්දි­යා­වේදී මාට්ටු

by Gayan Abeykoon
December 9, 2023 1:27 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

අන්තර්ජාලය ඔස්සේ අර්ධ කාලීන රැකියා දෙන බව පවසා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකුගෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 235ක් වංචා කළ ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ කූඩලෝර්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කූඩලෝර් පොලිසියේ සයිබර් අපරාධ අංශය විසිනි. ඉන්දියාවේ කුරුංජිපාඩිහි පදිංචි 32 හැවිරිදි එස්. සම්පත් නමැති තොරතුරු තාක්ෂණ වෘත්තියකුට ටෙලිග්‍රෑම් ඇප් එක ඔස්සේ අර්ධකාලීන රැකියාවක් දෙන බවට පණිවිඩයක් දෙමින් මේ වංචාවේ ඔහු නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

නාඳුනන පුද්ගලයකු විසින් අන්තර්ජාලය ඔස්සේ යම් යම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා මුදල් දෙන බවට ඔහු රවටා තිබෙන අතර, යෙදුම සමාලෝචනය කිරීම සඳහා කුඩා ආයෝජනයක් වෙනුවෙන් හොඳ ප්‍රතිලාභයක්ද පොරොන්දු වී තිබේ. පසුව සම්පත් නමැත්තා විශාල ටෙලිග්‍රෑම් කණ්ඩායමකට ගෙන ගොස් එහිදී ඔහු දිගටම කාර්යයන් ඉටු කර බැංකු ගිණුමකට ඉන්දීය රුපියල් ලක්ෂ 60ක මුදලක් ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

අවසානයේදී ඔහුගේ එම මුදල් වංචාකරුවන්ට හිමිව තිබෙන අතර, ඒ අනුව ඔහු සයිබර් අපරාධ පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙයි. ඉන්දීය පොලිසියේ පොලිස් අධිකාරී ආර්. රාජාරාම්ගේ උපදෙස් මත සයිබර් අපරාධ අංශය මඟින් පුළුල් විමර්ශනයක් සිදු කර තිබෙන අතර, ගිණුම් හිමියකුට සිදු කරන ලද රුපියල් ලක්ෂ 6ක අවසන් ගනුදෙනුව සොයාගැනීමෙන් අනතුරුව සැක සහිත බැංකු ගිණුමේ ගිණුම් හිමියාගේ තොරතුරු ගෙන ඇත.

ගිණුම් හිමියාගේ විස්තර සහ සම්බන්ධිත ජංගම දුරකතන අංකය බැංකුවෙන් ගැනීමටද එහිදී කටයුතු කර තිබේ. එම ගිණුම චෙන්නායි අම්බතූර්හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන 26 හැවිරිදි සල්මන් මොහොමඩ් ෆාරුක්ට අයත් එකක් බව අනාවරණය කරගෙන ඇත. මේ ඔන්ලයින් වංචාවේ ප්‍රධානියා චීනයෙන් පැමිණි අයකු බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

චෙන්නායිහිදී සල්මාන් නමැත්තා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු කූඩලෝර් වෙත රැගෙන ගොස් තිබෙන අතර, එහි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT