උසස් වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය සහ කාර්යක්ෂමතාව පිළිබඳ වාර්තාවක් දෙන ලෙස ඉල්ලා කථානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඒ බව දැනුම් දෙමින් කථානායකවරයා විසින් නිකුත් කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
කතානායකවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පැමිණිලි කරමින් නීතීඥ වරයකු ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටි නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.
ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ගෙන් සමන්විත ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිට නීතිපතිවරයා සඳහන් කළේ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වන කතානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් නවදෙනා වෙනුවෙන් තමන් පෙනී සිටින බවය.
උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය සහ කාර්යක්ෂමතාවය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා කථානායකවරයා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ඉකුත් නොවැම්බර් මස 14 වැනිදා අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපියක් යොමු කළ බව ඒ මහතා කීය.
එම ලිපිය අනුව ඉදිරි කටයුතු නොකරන බව කථානායකවරයා විසින් තමාට දැනුම් දුන් බව නීතිපතිවරයා එහිදී සඳහන් කළේය.
අදාළ කරුණු විමසීම සිදු කළේ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු වලට අදාළ ව රීතී සකස් කිරීම සඳහා පමණක් වන අතර එය සද්භාවයෙන් කළ කරුණක් වන බවද කථානායකවරයා විසින් වැඩි දුරටත් දන්වා ඇති බව නීතිපතිවරයා සඳහන් කළේය.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ව්‍යවස්ථා දායක සභාව වෙත පවරා ඇති බලතල අනුව අදාළ කරුණු විමසීම සිදුකර ඇති බවද නීතිපතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද අදාළ ලිපිය සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන බවට කතානායකවරයා ලිපියක් මගින් තමන්ට දැනුම් දී ඇති බව නීතිපතිවරයා සඳහන් කළේය.
කථානායකවරයා විසින් සිදු කර ඇති මෙම දැනුම්දීම පිළිබඳව අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත දැනුම් දීමට ද එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. නීතිපතිවරයා විසින් සිදුකළ එම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කළ බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් එහිදී පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය. මේ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව ඔහු අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන්ද අගවිනිසුරු වරයා සහ පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත දන්වා යැවීමටද නීතිපතිවරයා අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය. නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදි. එහි වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාවය පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත පසුගිය 14 වනදා ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙන බව තමන්ට දැනගන්නට පෙත්සම් කරු සිය පෙත්සම මගින් කියා සිටියේය .
එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති අතර අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර ඇති බවට පෙත්සම් කරු පෙන්වා දී තිබිණි. මෙම ක්‍රියාව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන බවට පෙත්සමෙහි සදහන් විය. මෙම ලිපිය නිකුත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් කරු ඉල්ලා සිටියේය. එබැවින් අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ සහීඩා බාරී , පුලස්ති රූපසිංහ යන නීතිවේදීන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, අතිරේක සොරිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය සමඟ නීතිපති සංජය රාජරත්නම් මහතාද වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.