වසර පහක පමණ කාලයක් පුරා මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණ 04ක කඩ කාමර එක් අයකුගෙන් තවත් අයකුට පැවරීමේදී සිදුව තිබෙන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුර එම මුදල් කඩ හිමියන්ගෙන් අය කර ගැනීමට නගර සභාව සැලසුම් කර තිබේ.
කඩ හිමියන් බදු ඔප්පු සකස් කරදීමට මුදල් දුන් බව කියන ගිණුම් අංශයේ කළමනාකරණ සේවා සහකාරවරිය එම මුදල් නගර සභා ගිණුමට බැර නොකර වංචා කර තිබෙන බවට විගණනයේදී අනාවරණය වී තිබිණි. පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ කඩ හිමියන් රැසක් අදාළ නිලධාරිනියගේ පෞද්ගලික ගිණුමට මෙන්ම ඇගේ අතට රුපියල් ලක්ෂ ගණනින් මුදල් දී තිබෙන බවයි. නාගරික කොමසාරිස්වරයා කඩ හිමියන් කැඳවා අදාළ මුදල් ගෙවන ලෙසත්, නොගෙවන්නේ නම් කඩ කාමර නගර සභාවට පවරාගෙන යළි ටෙන්ඩර් කිරීමට සිදු වන බවත් දැනුම් දී ඇත.
නගර සභාවේ කඩ කාමර පැවරීමට අදාළ විෂය කටයුතු සිදු කරන නිලධාරිනිය අතට පෞද්ගලිකව මුදල් දීම වරදක් නම් කඩ කාමර පැවරීමට අදාළ නීත්‍යනුකූල ලිපි ගොනුවක් ඇය තමන්ට ගෙනත් දුන්නේ කෙසේද යන්න සම්බන්ධව කඩ හිමියන් කොමසාරිස්වරයාගෙන් විමසා තිබේ.
අදාළ නිලධාරිනිය පෞද්ගලිකව මේ මුදල් වංචා කළේ නම් ලිපි ගොනු නගර සභාවේ නිලධාරීන් පස් දෙනකුගේ අධීක්ෂණය යටතේ නිකුත් වී තිබෙන්නේ කෙසේද යන්න කඩ හිමියෝ ප්‍රශ්න කරති. මේ වන විට අදාළ වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින කළමනාකරණ සහකාරවරියගේ සේවය අත්හිටුවා තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා මෙලෙස පැවසුවේය.
“කඩ කාමර පැවරීමට අදාළ මුදල් කඩ හිමියන් නිලධාරිනියගේ පෞද්ගලික ගිණුමට බැර කර තිබෙනවා. එය වරදක් බව කඩ හිමියන් නොදැන සිටිය නොහැකියි. කඩ හිමියන්ගේ ක්‍රියාව වංචා කටයුතු සඳහා සැකකාරියට රුකුල් දීමක් ලෙස සැලකිය හැකියි. සිදුව තිබෙන අලාභය නගර සභාවට දැරිය නොහැකි නිසා නගර සභාවට අය විය යුතු මුදල කඩ හිමියන් ගෙවිය යුතුව තිබෙනවා. මෙහිදී කඩ හිමියන්ට යම් පාඩුවක් සිදුව තිබේ නම් ඔවුන් එය අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ අදාළ නිලධාරිනියගෙන් ගත යුතුයි.”