හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පෙරේදා (07) රාත්‍රි 7.45 සිට ඊයේ (08) දහවල් වනුතුරු සම්පුර්ණයෙන්ම ඇණ හිටි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමඟ මාර්ගයට කඩා වැටී තිබේ.
කඩා වැටුණු විශාල ගස සහ පස් කන්ද කපා ඉවත් කිරීමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (08)ආරම්භ කරනු ලැබීය.
පස් සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියලුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත්,මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියලුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරවීමට පොලීසිය පියවර ගත්තේය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ඇණ හිටිම නිසා ඊයේ (08) උදෑසන හැටන් ප්‍රදේශයේ පිහිටි පාසල් වෙත පැමිණෙන ළමයින්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් මෙන්ම මගී ජනතාව දැඩි අසිරුතාවට පත්ව සිටියහ.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස් කඳු කඩා වැටිමේ අවදානමක් පවතින හෙයින් ප්‍රධාන මාර්ගයේ පස් ඉවත් කිරීම තරමක් ප්‍රමාද වී තිබුණි.
ඡායාරූප හා සටහන හැටන් රංජිත් රාජපක්ෂ