ගත වූ මාස හයක කාලයේ හත්වන වරටත් අකුරණ නගරය පෙරේදා (07) රාත්‍රියේ අඩි 10ක් උසට ජලයෙන් යටවීම නිසා ව්‍යාපාරික ස්ථාන 500ක පමණ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ආහාර ද්‍රව්‍ය,විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් විනාශ වී තිබේ.අධික වර්ෂාවත් සමඟ පෙරේදා (07) රාත්‍රී 10.00ට පමණ නගරය ජලයෙන් යටවන අවස්ථාවේ ව්‍යාපාරික ස්ථානවල කිසිවකුත් නොවීම නිසා ඒවාහි තිබූ භාණ්ඩ බේරා ගැනීමට නොහැකි වූ බව අකුරණ ව්‍යාපාරිකයෝ පැවසූහ.
පසුගිය මාස හයක කාලයේ දී අකුරණ නගරය හය වතාවක් ජලයෙන් යට වූවත් මෙතරම් උසකට ජලය නැගි ප්‍රථම අවස්ථාව බවත් මේ නිසා සිදු වූ හානිය ඉතා බරපතළ බවත් ඔවුහූ ප්‍රකාශ කළහ.වැස්සත් සමඟ නගර ජලයෙන් යටවන බව දැන ව්‍යාපාරිකයෝ වෙළෙඳ සල්වල අඩි පහක පමණ උසකට ලෑලි තට්ටු ඉදිකර භාණ්ඩ ඒවාහි තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණත් අඩි 10ක පමණ උසකට ජලය පැමිණීම නිසා එම භාණ්ඩ කිසිවක් බේරා ගැනීමට නොහැකි වී ඇත.
අකුරණ නගරයේ සිට කිලෝ මීටරයක් බැගින් මහනුවර හා මාතලේ දෙසට ජලය පිටාර ගලා තිබෙන අතර මේ හේතුවෙන් මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල විය.අකුරණ නගරයේ කිලෝ මීටර් දෙකක පමණ වන දුරක පිඟාඔය හරහා පාලම් 50ක් පමණ ඉදිකර තිබෙන බවත් අවිධිමත් ලෙස බැහැර කරන කසළ මේ පාලම්වල ගැටී නතරවීම නිසා ජලය ගලා යෑමට දැඩි බාධා එල්ල වීම නිසා පිඟාඔයේ ජලය පිටාර ගලන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය පැවසුවාය.රක්ෂිත සීමා පිළිබඳ අවධානය යොමු නොකර සිදුකර තිබෙන අනවසර ඉදි කිරීම් ද නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන ලෙස බලපා ඇතැයි ද ඇය කීවාය.
ඡායාරූප-මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන