Saturday, May 10, 2025
Home » පුතා එක දව­සයි බැම්ම හදන තැන වැඩට ගියේ පුතා තමයි අපිව බලා ගත්තේ – මව හඬා වැටෙ­මින් කියයි
මහ වැස්සෙන් ජන ජීවිතයට බාධා

පුතා එක දව­සයි බැම්ම හදන තැන වැඩට ගියේ පුතා තමයි අපිව බලා ගත්තේ – මව හඬා වැටෙ­මින් කියයි

රංජි අයි­යයි මායි වළ ඇතුළේ සිටිද්දී තමයි බැම්ම වැටුණේ: මාව විසි වුණත් රංජි අයියා යට වුණා - නිපුන් ලක්ෂාන්

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

කටුගස්තොට සමූහ එස්.ජී.විජේරත්න

“මගේ පුතා ඔය බැම්ම හදන තැන එක දවසයි වැඩට ගියේ.එදාම තමයි පුතාට මේ දේ සිද්ධ වුණේ.එයා නැතිව අපට ඉඳල වැඩක් නෑ” කඩුගන්නාව හේනාවල රෝහල් පරිශ්‍රයේ අත්තිවාරමක් කපමින් සිටියදී ඒ අසල තිබුණු ගල් බැම්මකට යට වීමෙන් අවාසනාවන්ත අන්දමින් මියගිය උඩුනුවර ඇල්පිටිකන්ද අංක 17, බඹරගහ ඇල්ල ලිපිනයේ පදිංචිව සිටි රංජිත් අබේරත්න(33) නමැති එක්දරු පියාගේ මව වන ලීලාවති මැණිකේ (60) මහත්මිය තම පුතුගේ අකල් වියෝව දරා ගත නොහැකිව හඬා වැලපෙමින් අප සමඟ කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් ලීලාවති මහත්මිය මෙසේ ද පැවසුවාය. “මගේ පුතා ගමේ හැම කෙනා එක්කම බොහොම ළෙන්ගතුව තමයි ජීවත් වුණේ. ගමේ හැම පොදු වැඩකටම සහභාගි වුණා. පුතා අවුරුදු 11ක්ම වැඩ කරන්නේ කෑගල්ලේ මාළු කඩේක. එදා හය වැනිදා පුතා ගෙදර හිටියේ. අපේ ගේ ළඟම තමයි නංගිගේ පුතා ඉන්නේ. එයා ඉස්පිරිතාලේ බැම්මක් හදන වැඩක් කෙරුවා. ඒ පුතාගේ ඔළුවට ගලක් වැටිලා තුවාල වෙලා හිටිය නිසා නංගිගේ පුතා අපේ ලොකු පුතාට කිවුවා අද පුළුවන් නම් ඉස්පිරිතාලේ බැම්ම හදන තැන වැඩට යන්න කියලා. පස්සේ පුතා වැඩට ගියා. දවල් අපට ආරංචි වුණා පුතාට කරදරයක් කියලා. මේ විදිහට පුතා නැති වුණු එක අපි කොහොමද දරා ගන්නේ. එයාට ඉන්නවා මාස තුනක පොඩි දරුවෙක් .මගේ ලේලිත් අනාථ වුණා. අපිත් අනාථ වුණා. අපට කන්න බොන්න දුන්නේ මැරුණු ලොකු පුතා. අපට සාධාරණයක් ඉටු කර දෙන්න” මියගිය රංජිත්ගේ බිරිය වන දිල්හානි කුමාරි මහත්මියගේ මව වන කේ. ජී. කරුණාවතී මහත්මිය මෙසේ කියා සිටියාය.

“මම දුවට බබා ලැබෙන්න මාස දෙකකට කලින් ඉඳන් බෑනාගේ ගෙදර තමයි හිටියේ. දුවගේ හිසේ ඔපරේෂන් එකක් කෙරුවා. අවුරුදු 10කට විතර ඉස්සර. එදා පටන් එයා දිගටම බෙහෙත් බොනවා. බෙහෙත් නොබිවුවොත් එයාට පිට් එක හැදෙනවයි කියා තිබෙනවා. බෑනාට වුණු දේ ගැන අපට හිතා ගන්නවත් බැහැ .මගේ දුවයි දරුවයි අනාථ වුණා”

මියගිය රංජිත් වැඩ කළ තැන හෙඩ්බාස් විදිහට වැඩ කරමින් සිටි ඇල්පිටිකන්දේ එල්. පී. ඩී. නිශාන්ත මෙසේ පැවසීය.

“මම තමයි රංජිත් වැඩ කරපු තැන හෙඩ්බාස් විදිහට වැඩ කළේ. මම රංජිත් නැතිවුණු 06දා වැඩට ගියේ නැහැ. ඊට කලින් දවසෙත් වැඩට ගියා. මම 6 වැනිදා වැඩට ගියේ නැත්තේ රට යන්න අවශ්‍ය වැඩ වගයක් තිබුණු නිසයි. මට මේ සිද්ධිය ආරංචි වුණු ගමන් මම එතැනට ගියා. අපි බැම්ම බඳින්න අඩි 40 ක් විතර දිගටම බේස් එක කපලා තිබුණා. ඒ අසල තිබුණු පරණ ගල් බැම්මේ අන්තිම කොටස හරියේදි තමයි මේ දේ වෙලා තියෙන්නේ. ගල්බැම්ම වැටිලා අපේ තව එක්කෙනකුගේ උරහිස තුවාල වෙලා තිබුණා”

මේ අවාසනාවන්ත සිදුවීම වූ අවස්ථාවේ මියගිය රංජිත් සමඟ වැඩ කළ අයකු වන නිපුන් ලක්ෂාන් මෙසේ පැවසීය.” බැකෝ එකෙන් කපපු පස් ඉවත් කරමින් මමයි රංජි අයියයි වළ ඇතුළේ හිටියේ. ඒ අතරේ කඩා වැටුණු බැම්ම උඩ හිටපු අපිත් එක්කම යනවා කියා වැඩ කරන අයෙක් කෑ ගහල කිවුවා . ඒත් එක්කම ගලක් ඇවිල්ලා මගේ උරහිසේ වැදිලා මාව විසි වුණා. රංජි අයියා යට වුණා. පස්සේ අපි සෑහෙන මහන්සියක් දරා තමයි එයා ගොඩට ගත්තේ. එයා එදාම තමයි මෙතැන වැඩට ආවේ”

තුන්මස් වියැති තම කිරිකැටි පුතාත්, බිරියත් ඔවුන් දෙදෙනාගේ සෙවණැල්ල මෙන් ළඟ සිටි මවත් තනිකර දමා රංජිත් මෙලොව හැර ගොසින්ය. රංජිත්ගේ මව හඬා වැලපෙමින් කියා සිටියේ තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසය. රංජිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (08) පස්වරුවේ ඇල්පිටිකන්ද පොදු සුසාන භූමියේදි සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT