Saturday, May 10, 2025
Home » රටේ එක­මු­තු­කම සහ ස්ථාව­ර­යක් නැතිව ආර්ථි­කය ගොඩ­ගන්න බෑ – ජන­පති
‘හිමා­ලයා ප්‍රකා­ශ­නය’ ජන­ප­තිට පිළි­ග­න්වයි:

රටේ එක­මු­තු­කම සහ ස්ථාව­ර­යක් නැතිව ආර්ථි­කය ගොඩ­ගන්න බෑ – ජන­පති

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

ශිරෝමි අබයසිංහ

එකමුතුකම සහ ස්ථාවරයක් නැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කීප නමක් සහ ගෝලීය දමිළ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් පෙරේදා (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“සෑම කෙනෙකුටම අභිමානයෙන්, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්ති විඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුභසාධනය සහ සංවර්ධනය කේන්ද්‍ර කර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත්ය.

මේ ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරන බවත්, අනෙකුත් ආගමික නායකයන් ද මේ පිළිබඳ දැනුවත් කරන බවත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් යුද්ධයෙන් පිඩාවිඳී ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේද මහත් පීඩාවකට මුහුණදුන් බවයි. නමුත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන පෝලීම්වල මාස කීපයක් පමණක් මුහුණදුන් කටුක අත්දැකීම්වලට උතුරු නැඟෙනහිර ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

නව රටක් ගොඩනැඟීමේදී නව ආර්ථිකයක් අවශ්‍ය බවත් එහිදී “හිමාලයා ප්‍රකාශනය” වැනි ප්‍රකාශන වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එකමුතුකම සහ ස්ථාවරත්වයක් නැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවද පැවසීය.

උතුර සහ නැඟෙනහිර පළාත් සංවර්ධනයට බලපෑ ගැටලු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රගතියක් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

උතුරු නැඟෙනහිර සහ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම එම පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඒ අනුව පුනරින් නගරය ඉදිරියේදී පුනර්ජනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රට ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි ප්‍රසාදය පළ කළ ගෝලීය දමිළ සංසදයේ නියෝජිතයන් ඊට තම පූර්ණ දායකත්වය දෙන බව සඳහන් කළහ.

එමෙන්ම “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ එළිදැක්වීමට ලැබීම පිළිබඳව ද ඔවුහු සිය සතුට පළ කළහ.

යහපත් ශ්‍රි ලංකාවක් සඳහා වූ සංඝ සංසදය නියෝජනය කරමින් අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක මාදම්පාගම අස්සජිතිස්ස හිමි, උතුරු නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක සියඹලාගස්වැව විමලසාර, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සහ සිරි ධර්මරක්ෂිත පාර්ශ්වයේ ලේඛකාධිකාරී කිතලගම හේමසාර, වජිරවංශ පාර්ශ්වයේ වැඩබලන මහානායක මහාචාර්ය පල්ලේකන්දේ රත්නසාර, ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සාමාජික මානව සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති කළුපහන පියරතන, මධ්‍යම පළාතේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක නාරම්පනාවේ ධම්මාලෝක, රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වාද්දුවේ ධම්මවංශ හිමිවරු මේ අවස්ථාවට එක්වූහ. ගෝලීය දමිළ සංසදය නියෝජනය කරමින් එක්සත් රාජධානියේ සුරේන් සුරේන්දිරන්, භවාන් භවකුගන්, වේලුපිල්ලෙයි කුගනේද්‍රන්, ඔස්ට්‍රේලියාවේ ආචාර්ය කන්නප්පර් මුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසිංගම්, අමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෙයරාජා මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT