අන්තර්ජාල රැඩිකල්කරණයෙන් මෙරට තරුණ පරපුර මුදාගැනීම සඳහා සාමූහික ප්රයත්නයක් අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. ඔහු මේ බව පැවසුවේ Search for Common Ground සංවිධානය මගින් ‘Search for Common Ground with Meta (Facebook), Skype, Twitter and Messenger’ යන තේමාව යටතේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පෙරේදා (7) පැවති වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම සුවිශේෂ අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇති බව රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. අධ්‍යාපනය, අන්තර් සහයෝගිතාව, සමාජ ආර්ථික සංවර්ධනය සහ නූතන තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීමෙන්, අන්තවාදි අදහස්වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමි ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට තරුණයන් සවිබල ගැන්වීමට හැකි වන බවද ඔහු කීවේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේ තරුණ රැඩිකල්කරණය බොහෝ විට සමාජ-ආර්ථික විෂමතා, දේශපාලන අස්ථාවරත්වය, ආන්තිකකරණය සහ අධ්‍යාපනය හෝ අවස්ථා හිඟකම යන සාධකවල සංකීර්ණ අන්තර් ක්රියාකාරිත්වයක ප්‍රතිඵලයක් වන බව සහ එය හුදු ආරක්ෂක පියවරයන්ගෙන් ඔබ්බට ගිය එකක් වන බවයි. මේ හේතුවෙන් රැඩිකල්කරණයට ආමන්ත්‍රණය කිරීමට බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වන බවද ඔහු සඳහන් කළේය.
සමාජ මාධ්‍යයන් මේ වන විට සමාජ ජාතීන් දක්වා පරිණාමය වී ඇති අතර, එමඟින් ලොව පුරා දැවැන්ත බලපෑමක් ඇති කල හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සමාජ ආරක්ෂාව අතර ඇත්තේ සියුම් රේඛාවක් බඳු පරතරයක් පමණක් බවත්, ආරක්ෂිත මෙවලම් සහ ක්‍රියාමාර්ග නිසි ලෙස භාවිත කිරීමේදී සන්නිවේදන සේවා සපයන්නන්ට විශාල වගකීමක් පැවරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අවස්ථාවට තාක්ෂණ ක්ෂේත්රයේ නියෝජිතයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එක් වූහ.