Home » නැඟෙ­න­හිර ටිමෝ­රයේ ඉහ­ළම වීර සම්මා­නය මාධ්‍ය­වේදී ෆ්‍රෙඩී ගම­ගේට

නැඟෙ­න­හිර ටිමෝ­රයේ ඉහ­ළම වීර සම්මා­නය මාධ්‍ය­වේදී ෆ්‍රෙඩී ගම­ගේට

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා අතින් එරට රජයේ ඉහළම වීර සම්මානය ගත් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතා එම සම්මානය ද රැගෙන ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.

ෆ්‍රෙඩී ගමගේ මාධ්‍යවේදියකු, සිවිල් සමාජ ක්‍රියාධරයකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස ද කටයුතු කරමින් සිටී.

නැඟෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත්, ඔස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි. මෙය 1975 නොවැම්බර් මස 28 වැනිදා තෙක් පෘතුගීසින්ගේ යටත් විජිතයක්ව පැවතියේය. පසුව නිදහස ලබා කෙටි කාලයකදී එනම් 1975 දෙසැම්බර් මස 07 වැනි දින ඉන්දුනීසියාව විසින් එම රාජ්‍ය අත්පත් කර ගත්තේය.

ඉන්දුනීසියාවෙන් නිදහස ගැනීමට එරට වැසියන් සමඟ ආසියා – පැසිෆික් කලාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරත විය. මේ අරගලයට සහභාගි වීමට නැඟෙනහිර ටිමෝරයට යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක් වී තිබේ.

අරගලවල ප්‍රතිඵලයක් ලෙස 2002 මැයි මස 20 වැනි දින නැඟෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් බවට පත් විය. එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මේ වීර සම්මානය පසුගිය නොවැම්බර් මස 27 වැනිදා එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පිරිනමා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT