Sunday, May 11, 2025
Home » රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොකළ වාහන ගැන සියලු දත්ත ගිණුම් කාරක සභා­වට දන්වන්න

රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොකළ වාහන ගැන සියලු දත්ත ගිණුම් කාරක සභා­වට දන්වන්න

රජයේ ගිණුම් කාරක සභාවේ සභා­පති

by Gayan Abeykoon
December 9, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

ආනයන සීමා කිරීම් හෝ බදු නොගෙවීම හේතුවෙන් රේගුවෙන් නිෂ්කාශනය නොකළ ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන සම්බන්ධයෙන් රේගුවෙන් ‍ ගෙන්වා ඇති කාණ්ඩය සහ ලියාපදිංචි කළ වාහන කාණ්ඩය සඳහන් කරමින් සියලුම දත්ත රජයේ ගිණුම් කාරක සභාවට මාස තුනක් තුළ දන්වන ලෙසට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය.

එමඟින් රේගුව හරහා ගෙන්වන වාහන කාණ්ඩය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදු කර ඇති කාණ්ඩය අතර වෙනසක් තිබේද යන්න තහවුරු කර ගත හැකි බව කමිටුව පෙන්වා දෙන ලදී.

ආනයන සීමා කිරීම් හෝ බදු නොගෙවීම හේතුවෙන් රේගුවෙන් නිෂ්කාශනය නොකළ ශ්‍රී ලංකාවට ආනයනය කළ මෝටර් රථ නිදහස් කිරීමට ප්‍රතිපාදන යෝජනා කරන 2018 අංක 35 දරන මුදල් පනත සහ 2012 අංක 12 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නැවත සලකා බැලිනි.

ආනයන අපනයන පාලන පනත යටතේ 2020 මැයි 22 දිනැති අංක 2176/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෝටර් රථ ආනයනය අත්හිටුවීමෙන් පසු ආනයනය කිරීම සහ ණයවර (LC) විවෘත කිරීම සම්බන්ධයෙන් පැන නඟින කරුණු සැලකිල්ලට ගෙන ආනයනය කළ වාහන 263ක් රේගුවෙන් නිදහස් කිරීමට අදාළව ඇති ප්‍රතිපාදන පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර කමිටුවෙන් දුන් උපදෙස් පරිදි පැහැදිලි කිරීම් නිලධාරීන් විසින් සිදු කරන ලදී.

මේ අනුව රජයට උපරිම ආදායම් ලැබීමට වඩා වාසිදායක වන්නේ ආනයන අපනයන පාලන ජනරාල්වරිය විසින් පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය වෙනස් කිරීමෙන් බදු ආදායම අය කර මේ වාහන නිදහස් කිරීම ද නො එසේ නම් මේ වාහන නීති විරෝධී ලෙස ගෙන්වූ වාහන ලෙස සලකා වෙන්දේසි කිරීම ද යන්න පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස දැනුම් දීම සිදු විය. රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අන්තර් සම්බන්ධතාවක් තවමත් සකස් කර නොතිබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ හේතුවෙන් බදු අඩු කාණ්ඩයක් යටතේ ගෙන්වන වාහන වෙනත් කාණ්ඩයක් යටතේ ලියාපදිංචි කිරීම සිදු වන බව ද සාකච්ඡා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඒ. සුමන්තිරන්, කාවින්ද ජයවර්ධන, මධුර විතානගේ මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT