Saturday, May 10, 2025
Home » මහ­නු­වර ගෝලීය සෞඛ්‍ය ආර­ක්ෂණ විශේෂ සමු­ළු­වෙන්…

මහ­නු­වර ගෝලීය සෞඛ්‍ය ආර­ක්ෂණ විශේෂ සමු­ළු­වෙන්…

by Gayan Abeykoon
December 9, 2023 1:06 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

එක් එක් රටවල දේශීය වෛද්‍ය ක්‍රම, විකල්ප වෛද්‍ය ක්‍රම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවලට ඇතුළත් කිරීමේ ප්‍රයත්නයේ මෙතෙක් සිදු කළ අධ්‍යයනයන් ඇසුරින් අවසන් අධ්‍යයනය සිදු කරන විශේෂ ජාත්‍යන්තර සමුළුව මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය පැවති අතර, මේ සමුළුව පසුගිය 06 වැනිදා සිට ඊයේ (08) දක්වා පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සංවිධානයෙන් පැවැත්වූ මේ සමුළුවේ සත්කාරකත්වය දැරුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. මේ සමුළුවට මැලේසියාව, ඉරානය, පාකිස්ථානය, ආර්ජන්ටිනාව, අමෙරිකාව, දකුණු අප්‍රිකාව, මොරිෂස්, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව ඇතුළු රටවල් 15ක් නියෝජනය කරමින් විද්වතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප 06ක් නියෝජනය කරමින් එහි නියෝජිතයන් ඇතුළු 48ක කණ්ඩායමක් සහභාගි වූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 11 වැනි සංශෝධනයට (ICD-11) අනුව මේ සමුළුව පවත්වයි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අදාළව අවසන් අධ්‍යයනය සිදු කර එම කටයුතු නිමා කර ඇති අතර, දේශීය වෛද්‍ය අංශයන්ට අදාළ ඒ ඒ රටවල කණ්ඩායම් සමඟ එක්ව සාකච්ඡා කර වසර ගණනාවක් සිදු කළ ව්‍යායාමයක අවසන් අධ්‍යයනය මෙයයි.

ලෝකයේ සෑම රටකටම අදාළව ‌රෝගියෙක් රෝහලට පැමිණියොත් රෝග නිර්ණයන් විෂයයට අදාළ සියලු දෙනා සමානව දැනගැනීමට හැකි වන අයුරින් ක්‍රියාත්මක කිරීම ‌මෙහි ප්‍රමුඛ අරමුණ වේ. මේ අධ්‍යයනය එළැඹෙන ජනවාරි මස 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී එළිදැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

මේ සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙලෙස පැවැසුවේය.

“අපේ රට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටක්. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරය පිළිගත් ඉතා විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක්. මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීමට ලැබීම රටේ දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතියට මනා පිටිවහලක්.

වත්මන් සෞඛ්‍ය ඇමැති, ‌වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීමෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියේදී මීට වඩා විධිමත්ව, කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට හේතු වෙනවා. එයින් නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රයෝජනය ජනතාවට ලැබෙනවා. මේ ජාත්‍යන්තර සමුළුවේදී ගන්නා අවසන් තීන්දු තීරණවල ප්‍රතිඵලය ලැබෙන්නේ ජනතාවට. මෙය පරිගණක පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන නිසා රෝගියාගේ රෝග තත්ත්වය ඕනෑම රටක සිට වෛද්‍යවරයාට තේරුම් ගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා.”

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් Dr. Robert Jakob, මෙරට කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිපාලක Dr. Shalala Ahmadova මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT