ප්‍රතිපත්ති, අණපනත් සකස් කරන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සාක්ෂරතාව ඉහළ දැමිය යුතු බව මෙන්ම එය සහතික පත්‍රයට සීමා නොවී ක්‍රියාවෙන්ම වර්ධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ද කෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (07) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 52 වැනි අදියර යටතේ උතුරු කොළඹ සාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ පාර්ලිමේන්තු පුස්තකාලයේ පොත්,පත්තර සහ සඟරා කියැවීමෙන් බව සඳහන් කරන විපක්ෂ නායකවරයා එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් බැලීමෙන් එහි ඇත්ත නැත්ත සොයා බැලිය හැකි බවද කියා සිටියේය.
අනාගතයේ දී කර්මාන්තශාලාවල සේවය කරන පුද්ගලයන් අවම වී රොබෝ යන්ත්‍ර පැමිණිය හැකි නිසා අනාගතයේ දී හොඳ ආදායමක් ලැබිය හැක්කේ බුද්ධිය,නව ක්‍රමවේද ගැන අවබෝධයක් සහිත පුද්ගලයන්ට බවත් එකී නව ලෝකයට 41 ලක්ෂයක් දූ දරුවන් යොමු කිරීමට අවශ්‍ය මාර්ගය සකස් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම මේ ලෝකේ ඕනෑම දෙයක් හොරකම් කළ හැකි වුවත් දැනුම, බුද්ධිය, ඥානය හොරකම් කළ නොහැකි බවත් එය මැරෙන මොහොත දක්වා අප සතු මහා දැවැන්ත ශක්තියක් සහ සම්පතක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 52ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 487ක් වැය කර තිබේ.