Saturday, May 10, 2025
Home » පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

ඩෙල්ෆ් දූපතේ බස් රථ සේවා වැඩි කිරීමට පියවර ගන්නවා

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

යාපනය ඩෙල්ෆ් දූපත තුළ සිදු කරන බස් රථ ප්‍රවාහන ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

දැනට එම දූපත තුළ බස් රථ ගමන් වාර 4ක් ක්‍රියාත්මක වෙනවා. එම සංඛ්‍යාව 6 දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා.

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණෙන අවස්ථාවකදී ඩෙල්ෆ් දූපතේ සංචාරයකට එක්වෙමින් එහි ඇති ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරනවා. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් ඩෙල්ෆ් දූපත තුළ ස්ථාපිත කිරීමේදී එහි යෑමට හැකි වුණා. පසුගිය කාලයේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඒ 9 මාර්ගය පවා අබලන්ව පැවතුණා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ යාපනය ඩිපෝවට කුඩා බස් රථ 15ක් පමණ ලබා දුන්නා. ඉදිරි කාලයේ දී බස් රථ ලබාදීම් සිදු කිරීමේදී ඩෙල්ෆ් දූපතට බස් රථ යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.

එම දූපත තුළ දැනට ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ලෙස බස් රථ දෙකක් ධාවනය වෙනවා. උදෑසන 6.30, 10.30 සහ පස්වරු 2.00, 4.30 ලෙස ධාවන වාර හතරක් සිදු වෙනවා.

චීන පොහොර නැව ගෙන්වීම ගැන සොයා බලන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කළා

ඇමැති මහින්ද අමරවීර

චීන පොහොර නැව ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ විනිශ්චයකාරවරයකුගෙන් යුක්ත ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම කමිටුව පත් කරනවා. කමිටුව ලබා දෙන නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

චීන පොහොර නැව සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අල්ලස් කොමිෂමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඊට අතිරේකව මෙම කමිටුව පත් කරනවා. මෙම පොහොර නැව සම්බන්ධයෙන් කෝප් වාර්තාවක් ලැබී නැහැ.පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී ඉදිරිපත් වූ කරුණු අනුව ස්වාධීන කමිටුවක් පත් කිරීමට තීරණය කළා.

මේ සම්බන්ධයෙන් සෙවීමට ස්වාධීන කමිටුව පත් නොකළ යුතුයි. විපක්ෂ නායකවරයා කියන්නේ නම් එය නැවැත්වීමට පියවර ගන්නවා. මෙය මගේ කාලයේ සිදු නොවූ දෙයක්. අහක යන කුණු ගොඩවල් ළං කර ගැනීමට මට අවශ්‍යතාවයක් නැහැ.

පූර්ණ විනිවිදභාවයකින් යුක්ත පරීක්ෂණයක් සිදු කිරීමේ අරමුණෙන් මෙම කමිටුව පත් කිරීමට පියවර ගත්තා.

 

ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමේදී දේශපාලන මැදිහත් වීමක් සිදු වුණේ නැහැ

ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවූ බව ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

මේ වන විට ගුවන් යනා ඉන්ධන සැපයීම ඉතා ක්‍රමවත්ව සිදු වෙනවා. ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා අයැදුම්කරුවන් තිදෙනෙක් ඉදිරිපත් වුණා. එසේ ඉදිරිපත් වූ ටෙන්ඩර් තුනෙන් කොන්දේසිවලට එකඟ වූ ආයතනයට එම ටෙන්ඩරය ලබා දුන්නා. මෙරටට පැමිණෙන ආයෝජකයන් ආපසු හරවා යැවීමට නොහැකියි.

ගුවන් යානා ඉන්ධන මෙරටට ගෙන ඒමේ ක්‍රමවේදයක් තිබෙනවා. එම ගුවන් යාන ඉන්ධන ගොඩ බෑමට හැක්කේ අදාළ ප්‍රමිතිය පරීක්ෂා කළාට පසුව. කොයි සමාගමෙන් ගෙනාවත් එහි ප්‍රමිතිය අඩුවක් වෙන්නෙ නැහැ. මේ සඳහා අයැදුම් කළේ සමාගම් 03ක් පමණයි. අදාළ තාක්ෂණ කමිටුව තමයි මෙම සමාගම තෝර ගත්තේ. දැන් ඉතා හොඳට ගුවන් යානා තෙල් සැපයීම සිදු කරනවා. අපි ගැරන්ටි එකක් අරන් තිබෙනවා. ඔවුන්ට කාල සීමාවක් ලබා දී තිබෙනවා. එම කාල සීමාව ඇතුළත එම ටැංකි හදල දෙන්න ඕනෑ.

ආබාධ සහිත පුද්ගලයන් භාවිත කරන උපකරණවලටත් වැට් බදු ගහලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආබාධ සහිත පුද්ගලයන් භාවිත කරන උපකරණවලටත් වැට් බදු ගැසීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වන බැවින් එම වැට් බදු ඉවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (8) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආබාධිත පුද්ගලයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

2012 වසරේ සිදුකළ සංගණනය අනුව මෙරට තුළ ආබාධ සහිත පුද්ගලයන් සමස්ත ජනගහණයෙන් 8.7%ක් හෙවත් ලක්ෂ 16ක් බව හඳුනා ගෙන තිබෙනවා. මේ වන විට වසර ගණනාවක් පුරා ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සංගණනයක් සිදු නොවූ නිසා මෙම අගය මීට වඩා වැඩි විය හැකියි. එසේම පෙර කී සංගණනය සඳහා භාවිත කළ ක්‍රමවේදය හේතුවෙන් විශාල පිරිසක් ඒ සඳහා ඇතුළත් වී නැහැ.

එසේම 2003 වසරේ ආබාධිත පුද්ගලයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති බවත් 2016 දී එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට එකඟ වී තිබෙනවා. එබැවින් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට නෛතික බැඳීමක් තිබුණත් ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ආණ්ඩුවට ලබා දෙන බව දක්නට නැහැ.

මෙවැනි ආබාධ සහිත පුද්ගලයන් සිටීම සමස්ත පවුලටම බලපෑමක් සිදුවනවා. එවැනි පීඩාවට පත් පවුල් ඒකක විශාල සංඛ්‍යාවක් ඇති නිසා රජයේ සුවිශේෂි අවදානය යොමු විය යුතුයි. එමෙන් ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පවා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී සුදුසුකම් මත ආබාධිත ප්‍රජාවට 3%ක වරප්‍රසාදයක් ලබා දුන්නත් අද එය ක්‍රියාවට නංවා නැහැ.

තියෙන ගුවන්තොටුපොළ සංවර්ධනය නොකර අලුත් ගුවන්තොටුපොළ නිර්මාණය කිරීම ගැටලුකාරී වෙනවා

මන්ත්‍රී අශෝක් අබේසිංහ

දැනට රට තුළ ස්ථාපිත කර තිබෙන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා අභ්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය නොකර වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිර්මාණයට මුදල් වෙන් කිරීම ගැටලුකාරී බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

වරාය හා ගුවන්සේවා වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

ලංකාවේ වර්ග කිලෝමීටර් 65,000 තුළ ගුවන්තොටුපොළ 21ක් තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය තවමත් සිදු කරනවා. වසරකට මිලියන 6ක් පමණ මේ ගුවන්තොටුපොළ හරහා එහා මෙහා යනවා. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් වෙන් කර තිබෙනවා. අභ්‍යන්තර ගුවන්තොටුපොළ නවීකරණය කරනවා වෙනුවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හදන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. අපේ කාලයේ යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කළා. මගීන් 100කට අඩු ගුවන් යානා විතරයි එහි ගොඩබෑමට පුළුවන්. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ තුළ දෙවැනි ගුවන් පථයක් හැදිය යුතුයි. එසේ නොකර වෙනත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කරන්නේ කුමක් නිසාද. මත්තල ගුවන්තොටුපොළ හැදුවා. එය සුදු අලියෙක් බවට පත් වෙලා. 2030 වෙන තෙක් එය ඉදිකිරීමට ගත් මුදල්වලට ණය ගෙවන්න වෙනවා. මත්තල ගුවන්තොටුපොළ නිසා රුපියල් බිලියන 56ක් අපට අහිමි වෙලා තිබෙනවා. මේ ගුවන්තොටුපොළ හදන්න වැය කර තිබෙන්නේ රුපියල් බිලියන 32යි. මෙය සෑදීමට ගත් ණය මුදල් 2030 වසර වෙන තෙක් ගෙවන්න වෙනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් ලැබෙන ලාභයෙන් තමයි මේ ණය ගෙවන්න වෙන්නේ. එය විශාල ප්‍රශ්නයක්. ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් තිබෙනවා. සිටින අය විදෙස්ගත වීමට සැලසුම් කරනවා.

වරාය – ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමෙන් ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා

රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර

වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමෙන් ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවේය.

වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

වරාය හා ගුවන්තොටුපොළ මඟින් මෙරට සංවර්ධනයට ඍජු දායකත්වයක් ලබා දෙනවා.

රුපියල් මිලියන 7075ක් අය වැයෙන් මෙවර වරාය ගුවන්තොටුපොළ සංවර්ධනයට වෙන් කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 3000ක පමණ වැඩි වීමක් එය. නැඟෙනහිර නවෝදය යටතේ ඔලුවිල් වරාය තිබෙනවා. පසුගිය වසර 10ක පමණ කාලයක් එය වසා තැබුණා. ධීවර වරායක් ලෙස පසුගියදා ලබා දුන්නා. කොරියානු සමාගම් කිහිපයක් සමඟ මේ වරාය සංවර්ධනයට සාකච්ඡා කරමින් සිටිනවා. නිසි ලෙස ශක්‍යතා වාර්තා නොගැනීම නිසා තමයි මේ වරාය වසා තිබුණේ. මේ වරාය මුල් කරගෙන මධ්‍යම හා විශාල පරිමාණයේ බෝට්ටු නිෂ්පාදන සමාගමක් ස්ථාපිත කිරීමටත්, මාළු ටින් කර අපනයනය කිරීමටත් සාකච්ඡා කර තිබෙනවා. මෙමඟින් රැකියා ගණනාවක් බිහි වෙනවා. ඔලුවිල් වරායේ ගොඩබිම පදනම් කරගෙන සෝලා පවර් නිෂ්පාදනයටත් කතාබහ කර තිබෙනවා. එසේ කළ හැකි වුවහොත් විදුලිය උත්පාදනයට සහාය දිය හැකියි.

මෙරට පොස්පේට් නිධිය යොදා ගනිමින් පොහොර නිෂ්පාදනයට ද සැලසුම් කර තිබෙනවා. මේ කාර්යයන් සිදු වුවහොත් පොහොර අවශ්‍යතාවෙන් සියයට 30ක් පමණ අපට නිෂ්පාදනය කර ගත හැකියි. කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ද පියවර ගෙන තිබෙනවා. එය උතුරු නැඟෙනහිර සංවර්ධනයට හේතු වෙනවා. යාපනය ගුවන්තොටුපොළ සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. සංචාරක කර්මාන්තය ද මෙමඟින් වැඩිදියුණු කර ගත හැකියි. වරායත්, ගුවන්තොටුපොළත් සංවර්ධනය රටේ සංවර්ධනයට විශාල රුකුලක් වෙනවා. දකුණු ආසියාවේ තිබෙන මධ්‍යස්ථානයක් ලෙස වරාය ගුවන්තොටුපොළ සංවර්ධනයෙන් කළ හැකියි.

වරාය සංවර්ධනය ජාතික ආර්ථිකයට ශක්තියක්

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

වරාය සංවර්ධනයෙන් ජාතික ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබා දී තිබෙන බව ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම හැර මෙම ආයතනය ගොඩගැනීම සඳහා වෙනත් ක්‍රමවේදයක් නැහැ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යට ගසා තිබූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මා කටයුතු කළා.

 

මාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය වැඩිදියුණු කරන්න උපරිම දායකත්වය ලබා දෙනවා

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම සඳහා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් ජනමාධ්‍යවේදින් වෙනුවෙන් ක්‍රියාත්මක ‘ඇසිදිසි ‘ ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් ලබන වසරේදී රුපියල් ලක්ෂ හැත්තෑවක් ලබා දෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මෙම වසරේදීත් එම ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක අතර, අයැදුම් කර තිබූ සියලු අයැදුම්කරුවන් වෙනුවෙන් ලක්ෂ පනහක මුදලක් මෙවර වෙන්කර තිබෙනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය වෙනුවෙන් ආරම්භ කරන වරලත් මාධ්‍යවේදී ආයතනය වෙනුවෙන් ඉටු කළ යුතු සියලු කාර්යයන් ඉටු කරනවා.

එමෙන්ම වත්මන් රජය යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවකට ජනාධිපතිවරයාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවන අතර, රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ද කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ.

අද මාධ්‍ය ඉතා ප්‍රබල තැනක සිටිනවා. අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන කෙරෙහි අවධානය යොමු කරනවා. වගේම මේ රටේ පෞද්ගලික මාධ්‍ය තුළින්ද අතිවිශාල සේවාවක් ඉටු වෙනවා. ජනතාව දැනුම්වත් කිරීම උදෙසා මාධ්‍ය ඔස්සේ අතිවිශාල කාර්යභාරයක් ඉටු කෙරෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සියලු මාධ්‍යවේදීන් අපගේ ගෞරවය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අද වන විට අතීතයට සාපේක්ෂව මාධ්‍ය ආයතන, පුවත්පත්, රූපවාහිනි නාළිකා ආදිය වැඩි වී තිබෙනවා. තරගකාරීත්වයට මුහුණ දෙමින් කටයුතු කිරීමට මාධ්‍ය ආයතනවලට සිදුව තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය, යූ ටියුබ් නාළිකා ආදිය තම ආදායම් වර්ධනය කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් කරනවා.

විදුලිබල පනතට අදාළ ගැසට් පත්‍රය දෝෂ සහිතයි: වහාම අවලංගු කරන්න

විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලීමක් තරති

විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ දෝෂ සහිත අකුරු පවා ඇති බැවින් එම ගැසට් පත්‍රය අවලංගු කර වෙනත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ඉල්ලීමක් කළහ. සිංහල භාෂාවෙන් ගහපු ගැසට් නිවේදනයේ තේරෙන්නේ නැති ඉංග්‍රීසි වචන තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එමෙන්ම ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරන විට එය භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කළ යුතු බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වන කරුණ 13 වැනි දා වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අපහසුවක් තිබෙනවා. මෙය දීර්ඝ වශයෙන් විවාද කළ යුතු කරුණක්. එබැවින් මේ සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැතිවරයාගේ අවධානයට යොමු කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.-

විදුලි බල පනත පස් වැනිදා දිනයට ගැසට් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. හැබැයි එහෙම ගැසට් එකක් ගහලා නැහැ. පස් වැනිදා එහෙම ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙලා නැහැ. අද උදේ තුනට තමයි මේ ගැසට් පත්‍රය වෙබ් අඩවියේ පළවෙන්නේ. දින හතක් ඇතුළත මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ 12 වැනිදා. එදින සිට දින 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 28 වැනි වෙනවා. 28 වැනි දා වන කොට උසාවි නිවාඩු දීලා.

මේ පනත ගැන කිසිම වෘත්තිය සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ. කිසිම පාරිභෝගික සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ. මේක තවත් ඩීල් එකක් ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ පනත ගැන අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. කමිටුවක සාකච්ඡා කළේ නැහැ. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළේ නැහැ. අඩු තරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. මේක මහා භයානක පනතක්. මෙහෙම ගැසට් කරලා අපිට නඩු දාන්න තියෙන අවස්ථාවත් වහනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ. පාර්ලිමේන්තුවත් වහලා උසාවියත් වැහුවට පස්සේ. මොකක්ද මේ කරන නාඩගම මේක සම්පූර්ණ වැරදි වැඩක්. මේකට අවශ්‍ය පියවර වහා ගත යුතුයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා –

එතුමා මතු කරන ප්‍රශ්නය සාධාරණයි. ගැසට් එකේ සඳහන් වෙන්නේ පහ. නමුත් මේක වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ අද පාන්දර. සතියකට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. එතකොට මේක දහතුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සති දෙකක් තියෙනවා අධිකරණයට යන්න. හැබැයි 15 අධිකරණයට නිවාඩු දෙනවා.15 වැනිදා අධිකරණයට නිවාඩු දුන්නට පස්සේ අපිට අධිකරණයට යන්න තියෙන කාලය ඉක්මවා යනවා. මේක ඉතා සැලසුම් සහගතව කළ වැඩක්. පාර්ලිමේන්තුව අධිකරණය මග හැරීමට කරපු වැඩක්. පස් වැනිදා සිට සතියක් ගැනීම වැරදියි. අද සිට සතියක් ගන්න. ඊළඟ ජනවාරි දාසය පටන් ගන්නේ.

සභානායක ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා –

තාම පළමු වර කියවීමට සභාගත කරලා නැහැ. ඊට පස්සේ තමයි දින දාහතර එන්නේ. මම මේ ගැන විදුලි බල ඇමැතිතුමාගේ අවධානයට යොමු කරනවා. නිවාඩු කාල සීමාව ගැන මම දැනුවත්. එතුමා දැන සිටියාද දන්නේ නැහැ.

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා –

මේ සිංහල ගැසට් එකේ ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒ නිසා මේ ගැසට් එක අලුතින් ගහන්න. මේක නැවත සිංහල භාෂාවෙන් ගහන්න. අලුත් දිනයට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ඉස්සරහට ගෙනියමු. මෙතන වැදගත් සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ නිසා මේ ගැසට් එක නැවත ගහන්න.

සභානායකවරයා –

කවදා ගැසට් එක ගැහුවත් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසේ ඉඳලා තමයි දින ගණන් කරන්නේ. මේක සෑහෙන විවාද කළ යුතු පනතක්.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා-

ගැසට් එකේ හයවැනි ඡේදය බලන්න. එතන තියෙන්නෙ ලංකාවේ අකුරු නොවේ. මේවගේ ගැසට් ගහලා මේ රටට කරන්න යන්නේ මොකක්ද. පස් වැනිදා මෙහෙම ගැසට් එකක් ගහලා නැහැ. මේ දිනයත් වැරදියි. සම්පූර්ණ වැරදි වැඩක් මේ කරන්නේ. මේ විදිහට වැඩ කරන්න ගත්තම ලොකු අවුලක රාජ්‍ය නිලධාරීන් ඉන්නේ.

මන්ත්‍රී අනුර දිසානායක –

ගැසට් එකක් අනිවාර්යයෙන් භාෂා තුනෙන්ම ආ යුතුයි. සිංග්ලිෂ්වලිනුත් තිබෙනවා. ඒකෙන් පේන්නේ මේක කඩිනමින් කරපු දෙයක් වගේ.

සභානායකවරයා –

සරලව බලන විට මෙය 13 වැනිදා ඉදිරිපත් කරන්න බැරිවෙනවා. මේ කාර්ය නිසි පරිදි සිදු කරන්න කියලා මම අමාත්‍යාංශයට කියන්නම්. මේක සෑහෙන විවාද කළ යුතු දෙයක්.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT