යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් අතුරුදන් වූ යතුරුපැදියක් ඊයේ (07) ගාල්ලෙන් හමු වී තිබේ.
ගාල්ල පොලිසිය විසින් එම යතුරුපැදිය සම්බන්ධයෙන් පහළ වූ සැකයක් මත එය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි අයිතිකරු මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අයෙකු බවට තොරතුරු හෙළි වී ඇත. පසුව යතුරුපැදිය හා එහි විස්තර ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යතුරුපැදියේ අයිතිකරුට යතුරුපැදියට අදාළ ඔහු සතුව ඇති සියලුම ලිපි ලේඛන සමඟ ගාල්ල අධිකරණයට පැමිණෙන ලෙසට නියෝගයක් නිකුත් කොට තිබේ. මෙම යතුරුපැදිය මුලතිව් ප්‍රදේශයේ සිට ගාල්ලට කිසියම් කෙනෙකු විසින් රැගෙන එන්නට ඇති බව පොලිසිය විශ්වාස කරන අතර යතුරුපැදියේ අයිතිකරු තම යතුරුපැදිය අතුරුදන් බවට මීට වසර 14කට ඉහතදී මුලතිව් පොලිසියට පැමිණිල්ලක්ද කොට තිබේ.
මුලතිව් පොලිසිය එම යතුරුපැදිය අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද නමුත් එය හමු වී නොමැත.
යුද සමයේ අවසන් දින කීපයේදී මුලතිව් වැසියන් සිය වාහන 5000ක් පමණ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අතහැර කලපුව දෙසට පලා ගිය අතර මෙම යතුරුපැදිය අතුරුදන් වී ඇත්තේද එවැනි සිදු වීමකිනි.