Home » ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිටිය දෙව­නත් කර­මින් ශ්‍රීසාන්ත්ට ‘මැච් ෆික්සර්’ ලෙස බැණලා

ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිටිය දෙව­නත් කර­මින් ශ්‍රීසාන්ත්ට ‘මැච් ෆික්සර්’ ලෙස බැණලා

ගාම්භීර්ට එරෙ­හිව ආචා­ර­ධර්ම පරී­ක්ෂ­ණ­යක්

by Gayan Abeykoon
December 9, 2023 1:25 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවති අවසන් මහා තරගයට සුදුස්සන් තෝරා ගැනීමේ තරගය අතරතුර ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීසාන්ත් හා ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සගයකු වන ගෞතම් ගාම්භීර් අතර, උණුසුම් බහින්බස්වීමකදී ශ්‍රීසාන්ත්ට ‘මැච් ෆික්සර්’ (තරග පාවා දෙන්නා) ලෙස ගෞතම් ගාම්භීර් ප්‍රසිද්ධියේ බැණ වැදීමේ සිද්ධිය දුර දිග ගොස් ඇත.

සජීව ලෙස ලොව පුරා විකාශය වූ මේ තරගයේදී දෙදෙනා අතර ගැටුම විනිසුරුවන් මැදිහත්වී සමථයකට පත් කළ ද ක්‍රීඩාවට නොගැළපෙන සේ ඉතා අශෝභන ලෙස බැණ වැදීම බෝහෝ දෙනකුගේ අප්‍රසාදයට ලක්ව ඇත.

මේ ගැටුම සම්බන්ධව ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් සංවිධායකයෝ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ආචාරධර්ම කමිටුවේ ප්‍රධානී සයිඩ් කිර්මානි මහතා මාධ්‍යයට පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ක්‍රීඩාශීලිත්වයේ ආත්මය ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතු බවය. ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවත්, පිටියේදී හෝ ඉන් පිටත සිදුවන ඕනෑම ආකාරයක විෂමාචාරයක් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවද කිර්මානි මහතා පැවසීය.

ශ්‍රීසාන්ත් – ගාම්භීර් අතර උණුසුම් බහින්බස්වීමේදී ගෞතම් තමන්ට සජීවී රූපවාහිනී විකාශය ක්‍රියාත්මක වෙද්දී ‘ෆික්සර් – ෆික්සර්’ ලෙස මහ හඬින් බැණ වැදීම දැවැන්ත චෝදනාවක් බව ශ්‍රීසාන්ත් සඳහන් කළේය.

“ගාම්භීර් මේ වගේ බොහෝ අය සමඟ ගැටුම් ඇති කර ගත්තා. සටන් කිරීම ඔහුගේ පුරුද්දයි. මේක පළමු අවස්ථාව නොවෙයි. අයිපීඑල් තරගාවලිය අතරතුර ඔහු විරාත් කෝලි සමඟ ආරවුල් ඇති කර ගත්තා” ශ්‍රීසාන්ත් පැවසීය. කෙසේ වුවද අයිපීඑල් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධව ශ්‍රීසාන්ත්ට ජීවිතාන්ත තරග තහනමක් පැනවිණි. නමුත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තහනම වසර 7ක් දක්වා අඩු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT