පෙරේදා අබුඩාබි ටී10 තරගාවලියේ බංග්ලා ටයිගර්ස් පිල නියෝජනය කරමින් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ එස්එස්සී ඉනිම ආරම්භ කරමින් විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් විය. මේ ඉනිම හේතුවෙන් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව එන්සීසී පිටියේ ආරම්භ වූ තරගයේදී සාර්ථක ඉනිමක් ගොඩනැඟීමට එස්එස්සී ක්‍රීඩකයෝ සමත් වූහ.
අයහපත් කාලගුණය හේතුවෙන් ඕවර 63කට සීමා වූ තරගයේ පළමු දිනය නිමාවන විට එස්එස්සී පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 250ක් රැස් කර තිබුණේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි. කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 7ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
අවිශ්ක සමඟ එස්එස්සී ඉනිම ඇරඹූ ශෙවෝන් ඩැනියෙල් මුළු ලකුණු 111දී මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ලකුණු 56කට දැවී ගියේ කුසල් ජනිත් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඉන් පසු අවිශ්කට එක් වූ නායක නිපුන් ධනංජය මුළු ලකුණු සංඛ්‍යාව 199 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ඊයේ සිය පළමු පෙළ සිවුවැනි ශතකය රැස් කළ 25 හැවිරිදි අවිශ්ක, නලින් ප්‍රියදර්ශනගේ පන්දුවක් හමුවේ දැවීයෑමෙන් දෙවැනි කඩුල්ලේ සබඳතාව නිමාවිය.
දිනයේ දැවීගිය තෙවැනි පිතිකරු බවට පත්වූ නිපුන් ධනංජය ඒ වන විට ලකුණු 40ක් රැස් කර තිබිණි.
මේ අතර අවිශ්ක මෙන්ම ඊයේ එස්එස්සී පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක තරග බිමට පිවිසියේ ද අබුඩාබියේ පැවැත්වෙන ටී10 තරරගාවලියේදී පෙරේදා පිතිකරණයෙන් දස්කම් දක්වමින් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ගෙනයෑමෙන් අනතුරුවය.
මේ තිදෙනා අබුඩාබි ටී10 තරගාවලියට එක්වූ අතර, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම සමඟ පෙරේදා පැවති මේ තරගයේදී බංග්ලා පිලට ලකුණු 27ක ජයක් හිමිවිය. ඒ සමඟ ඔවුන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර () තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.
පෙරේදා තරගයේ බංග්ලා ටයිගර්ස් පිළිතුරු ඉනිමේදී පන්දු 15කින් වේගවත් ලකුණු 34ක් රැස් කිරීමට ශානක සමත් වූයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහු තරගයේ වීරයා ලෙස නම් කළ අතර, කුසල් මෙන්ඩිස් හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් පන්දු 15කින් ලකුණු 32ක් ඉනිමට එක් කළේය. අවිශ්කගේ ඉනිම ලකුණු 5කට සීමාවිය.
මේ තරගයේදී චෙන්නායි නායක චරිත් අසලංක පන්දු 26කින් ලකුණු 55ක් රැස් කළ අතර, භානුක රාජපක්ෂට රැස් කළ හැකි වූයේ ලකුණු 3ක් පමණි.
අවිශ්ක මේ තරගාවලියේ මූලික වටයේ තරග 4කට එක් වූ අතර, එහිදී එක් අර්ධ ශතකයක් (86) රැස් කළේය. කුසල් සහ ශානක මූලික වටයේ තරග 2කට ක්‍රීඩා කර තිබිණි. එහිදී කැන්ඩි කස්ටම් පිලට එරෙහිව ඉනිම දෙකේදීම අර්ධ ශතක (96 සහ 67) රැස් කිරීමට ශානක සමත් වූ අතර, ඉන් පෙර තරගයේදී යුද හමුදාවට එරෙහිව කුසල් මෙන්ඩිස් ශතකයක් (136) රැස් කර තිබිණි.
මූලික වටය තුන්දින ලෙස පැවති මේ තරගාවලියේ අවසන් තරගය සිවුදින ලෙස පැවැත්වෙන අතර, අද තරගයේ දෙවැනි දිනයයි.
එස්එස්සී පළමු ඉනිම – 250/3 (ඕවර 63) අවිශ්ක ප්‍රනාන්දු 107, ශෙවෝන් ඩැනියෙල් 56, නිපුන් ධනංජය 40