අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) ජපාන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙයි.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් පිල සහ බංග්ලාදේශය අතර තරගය ද අද පැවැත්වේ.
මේ තරගාවලිය ආරම්භ වූ ඊයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරමින් ජයග්‍රහණ අත්කර ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය සමත් විය.
ඊයේ පැවති පළමු තරගයේ ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය ලකුණු 173ක් රැස් කළ අතර, ජම්ෂිඩ් සඩ්රාන් රැස් කළ ලකුණු 43 ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
පන්දු යැවීමේදී අර්ෂින් කුල්කර්නි සහ රාජ් ලිම්බානි කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, නාමන් තිවාරි කඩුලු 2ක් දවා ගත්තේය.
පන්දු 75ක් ඉතිරිව තිබියදී මේ තරගය ජයගත් ඉන්දීය පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.
අර්ෂින් කුල්කර්නි නොදැවී ලකුණු 70ක් සහ මුෂීර් ඛාන් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ඉන්දීය පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
මේ තරගය ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයන් 11 දෙනාම ඊයේ යොවුන් එක්දින තරග වරම් දිනා ගැනීම කැපී පෙනිණි.
පාකිස්තානය සමඟ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් නේපාලය ලකුණු 152ක් රැස් කළ අතර, උත්තම් මාගර් ලකුණු 51ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සීෂාන් කඩුලු 6ක් බිඳ දැම්මේ ලකුණු 19ක් පමණක් දෙමිනි. අමීර් හසන් කඩුලු 2ක් දවා ගත්තේය.
මේ ඉලක්කය හඹා ගිය පාකිස්තානය ඕවර 26.2කදී ජය හිමි කර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි. අසාන් අවායිස් නොදැවී ලකුණු 56ක් සහ සාද් බේග් නොදැවී ලකුණු 50ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කර ගත්හ. පන්දු යැවීමේදී ගුල්සන් ජා කඩුලු 2ක් දවා ගත්තේය.